බ්‍රැන්ඩික්ස් පොකුර ව්‍යාප්ත වුනේ ජනතාවගේ ආනාරක්ෂිත හැසිරීම් රටාව හේතුවෙන් : තවත් කොවිඞ් පොකුරු නිර්මාණය වීම වැලැක්වීම ජනතාව අතේ - සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

2020-10-18 08:41:00       1043
feature-top
කොවිඞ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ  මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ.

" වර්ථමාන කොවිඩ් පොකුර තමයි ශ්‍රී ලංකාවේ ඇතිවූ ලොකුම පොකුර. ඒකට හේතු කිහිපයක් දක්වන්න පුළුවන්. පළමුවෙනි කාරණාව තමයි ලංකාවේ සාමාන්‍ය ජනතාව සැලකිල්ලක් දක්වන්නේ නැතුව හැසිරුණු එක. මොන තරම් උපදෙස් දුන්නත් තමන් සෑම අවස්ථාවකම ආරක්ෂා සහිතව සිටිය යුතුයි යන සුදානම ඔවුන් තුල තිබුනේ නැහැ. මේ පොකුරේ ආරම්භය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව උනත් එය ව්‍යාප්තවී ඇති ආකාරය ගැන සොයා ගෙන යාමේදී මහජනතාව සෞඛ්‍යාරක්ෂිත භාවය අඩුවෙන් ක්‍රියා කිරීම ඊට හේතුවක් කියලා පෙනී යනවා.

ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට සිදුවෙනු ඇති. ඒ වගේම මොන තරම් නීති ගෙනාවත් මෙම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමයි වැදගත් වන්නේ." වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කර සිටියා.

කොරෝනා ආසාදිතයින් තවදුරටත් වාර්තා වුවහොත් එම ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් සකස් කර ඇති බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නෙත් නවුස් කළ කරුණු විමසීමකදි කියා සිටියා.


මේ අතර මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 2014ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයින් ගණන 115ක්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 5475ක් වනවා. ඒ අතරින් ආසාදිතයින් 2067ක් මේ වන විට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස්වසම් 19කට නිරෝධායන ඇඳීරි නිතිය තවදුරටත් කි‍්‍රයාත්මකවනවා. ඉකුත් 04වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳීරි නිතිය කඩකල පුද්ගලයින් 265 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ
(under the courtesy of nethnews.lk news web)

More News »