හිටපු ජනපති වග උත්තරකරුවෙක් ලෙස නම් කළ රෝයල් පාර්ක් සිදුවීමේ පෙත්සම් විභාගය ජනවාරි 19 වෙනිදා

2020-09-28 11:42:00       954
feature-top
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තිකරු වන දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වග උත්තරකරුවෙකු ලෙසට නම් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස 19 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා.

මෙම පෙත්සම අද දින අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලද අතර වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති අධිකරණ ඇමැතිවරයාට සහ නීතිඥ සංගමයේ ලේකම්වරයාට අදාළ පෙත්සමේ ශීර්ෂ සංශෝධනය කිරීමට අධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව හිමිවූ විත්තිකරුට රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගය  ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නිකුත් කරනු ලැබුවා.

කෙසේවෙතත් ජනාධිපති සමාව ප්‍රධානය වීමෙන් පසු මෙම විත්තිකරු පසුගිය නොවැම්බර් මස 15 වෙනි දා විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන එදිනම රටින් පිටව ඇති බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට විධායක ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් ඔහු මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙසට නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබා දුන්නා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියා.

හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් මෙම පෙත්සම ගොනු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙසට වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපති සමාව ලැබූ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලකවරයා, අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පාර්ශව 10ක් නම් කර ඇත.

2005 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි රෝයල් පාක් නිවාස සංකිර්ණයේ නිවසකදී දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ විසින් තම පෙම්වතිය වූ යුවොන් ජොන්සන් නැමැත්තිය ඉතා අමානුෂික ලෙසට ඝාතනය කිරීමේ චෝදනාවට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

එහිදී මහාධිකරණය වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් ලබා දෙන්නේ මෙම සාපරාධී මනුෂ්‍ය ඝාතනය මිනීමැරීමේ තත්ත්වයක් නොවන බවට තීන්දු කරමින්.

කෙසේවෙතත් මහාධිකරනයේ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයේ අභියාචනපෙත්සමක් ගොනු කරමින් විත්තිකරුට මහාධිකරණය ලබා දුන් දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා සිටියා. ඒ අනුව අභියාචනාධිකරණය විසින් විත්තිකරුට මරණීය දණ්ඩණය නියම කරනු ලැබුවා. විත්තිකරු විසින් අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2012 වර්ෂයේ නියෝග කර තිබුනා.

ඒ අනුව මරණීය දණ්ඩණය නියමව සිටි විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම නීතියේ ආධිපත්‍යයට කර ඇති අභියෝගයක් බවත් එම තීරණය අත් හිටුවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියා.

තවද විත්තිකරු රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා සිටියා .
(under the courtesy of nethnews.lk news web)

More News »