මාතර කැළඹූ රුසියානු ජාතිකයාගේ අවසන් PCR වාර්තාව එයි

2020-09-25 07:22:00       1050
feature-top
මාතර පොල්හේන ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රුසියානු ජාතිකයාට එම වෛරසය ආසාදනය වී නොමැති බව අද තහවුරු වුණා. ඒ, හම්බන්තොට රෝහලේදී ඔහු සම්බන්ධයෙන් සිදුකළ අවසන් PCR පරීක්ෂණයේ වාර්තාවේ ප‍්‍රතිඵල ලැබීමත් සමගයි.

හම්බන්තොට රෝහලේ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර, නෙත් නිවුස් වෙත පැවසුවේ මෙම රුසියානු ජාතිකයා සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ දෙකේදීම ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි.

මෙම රුසියානු ජාතිකයා ප‍්‍රමුඛ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු ඉකුත් 13 වනදා ඉන්දියාවේ බැංගලෝර් සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබුණා. ඉන්දියාවේදී කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා ආසාදිත නොමැති බවටයි තහවුරු වි තිබුණේ. කෙසේවෙතත්, මෙරටින් පිටවීමට පෙර එම පිරිස සිදුකළ PCR පරීක්ෂණවලදි මෙම රුසියානු ජාතිකයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

අදාළ පරීක්ෂණය සිදුකර ඇත්තේ පෞද්ගලික අංශයෙන් බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම වාර්තාව පදනම් කර ගනිමින් ඊයේ මෙන්ම අද දිනයේ ද, මාතර ඇතුළු ප‍්‍රදේශ රැසක ඔහුගේ ආශි‍්‍රතයින් සොයා පුළුල් මෙහෙයුමක් සිදු කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »