කාදිනල්තුමන් සම්බන්ධයෙන් හරීන් කළ ප‍්‍රකාශය හෙළා දකිනවා – කොළඹ රදගුරු පදවියෙන් නිවේදනයක්

2020-09-21 09:38:00       879
feature-top

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කළ ප‍්‍රකාශය අසත්‍ය බවත් එය තරයේ හෙළාදකින බවත් කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටියි.

කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා වන මැක්ස්වෙල් සිල්වා, ඇන්තනි ජයකොඩි සහ පී. ඇන්ටන් රංජිත් යන පියතුමන්ලා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

එය මෙසේය.

ඉකුත් දිනක හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමා පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතුවල යෙදී සිටින විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කළ ප‍්‍රකාශයක් පිළිබඳ මුද්‍රිත සහ විiුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ ප‍්‍රවෘත්තිය අසා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ද කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන අප ද සමස්ත පූජක සංසදය ද බලවත් සේ කම්පනයටත් කැළඹීමටත් පත්වූ බව ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

අගරදගුරුතුමා එකී ඛේදවාචකය සිදුවුණු පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාවක් ප‍්‍රසිද්ධ දේවස්ථානයක පවත්වා නැති බැවින්, උන්වහන්සේ එදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වා නැත්තේ සිදුවන්නට යන අනතුර පිළිබඳව උන්වහන්සේද කලින් දැනුවත් වී සිටි නිසා යැයි අනුමාන කරමින් මන්ත‍්‍රීවරයා හුදෙක් සිය සිතලූවක් මත පිහිටා කළ පදනම් විරහිත ප‍්‍රකාශය අගරදගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍ය මෙන්ම අසාධාරණ චෝදනාවක් බව පළමුව ප‍්‍රකාශ කර සිටින අතර ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය ද ප‍්‍රකාශ කර සිටිමු. එම අසත්‍ය ප‍්‍රකාශය තරයේ හෙළා දකිමු.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිරිත් පරිදි පාස්කු රාත‍්‍රී මෙහෙය අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා සිය ආසන දෙව්මැඳුර වන කොළඹ කොටහේන සාන්ත ලූසියා දෙව්මැඳුරේදී සිදුකළ අතර මධ්‍යම රාත‍්‍රිය ඉක්මවා පසු දින පාන්දර 2.00 පමණ වනතුරු පැවැත්වුණු එම දේව මෙහෙයට හා දිව්‍ය පූජාවට අමතරව බෝම්බ ප‍්‍රහාරය සිදුවූ අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරුදින උදෑසනද උන්වහන්සේ විසින් අගරදගුරු නිවසේදී දිව්‍ය පූජාව පවත්වන ලදී. කොළඹ කොච්චිකඬේ ශා. අන්තෝනි දෙව්මැඳුරේ සිදුවූ බෝම්බ පිපිරීම පිළිබඳව උන්වහන්සේට පළමුවෙන් ආරංචි වන්නේ පාස්කු ඉරුදින උන්වහන්සේ සිදුකළ මෙම දෙවන දිව්‍ය පූජාව නිම වී සිය කුටිය වෙත පෙරළා පැමිණි පසුය. සිද්ධිය සැළවූ වහාම උන්වහන්සේ විපතට පත් ජනතාව බැලීමටත් තමන්ට හැකි අන්දමින් ඔවුන් සැනසීමටත් කොළඹ කොච්චිකඬේ ශා. අන්තෝනි දෙව්මැඳුර වෙත ගියේ සිය සහයක රදගුරුතුමන් වන අති උතුම් ජේ. ඞී. ඇන්තනි හිමිපාණන් ද කැටුවය.

එබැවින් තමන්ව සාධාරණීකරණය කර ගනු වස් කාදිනල් හිමිපාණන්ව ඊට සම්බන්ධකර ගනිමින් මන්ත‍්‍රීවරයා කර ඇති බාල මනඃකල්පිත ප‍්‍රකාශය අසත්‍යයක් බව සඳහන් කරන අතර කාදිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමකු හෝ පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ කිසි ලෙසකත් පෙර දැනුවත් වී නොසිටි බව යළි යළිත් අවධාරණය කරමු. තවද ජීවිත අහිමිවූ සහ සදහටම ආබාධිත තත්ත්වයට පත්වූ සිය ගණනක් වූ අහිංසක ජනතාවට යුක්තිය ඉටුකරනු සඳහා වත්මන් ජනාධිපති කොමිසම කැපවී කි‍්‍රයාකරමින් සිටින බව අපගේ හැඟීමයි. මෙම දරුණු අපරාධය සිදුකළ කුරිරු ත‍්‍රස්තවාදීන්ටත් ඔවුන්ට එසේ කි‍්‍රයාත්මක වීමට සිය වගකීම් ඉතා බරපතළ ලෙස පැහැර හරිමින් මඟ සැලසූ සිද්ධිය සිදුවන විට බලයේ සිටි දේශපාලන නායකයන්ටද රාජ්‍ය පරිපාලන සේවයේ සහ බුද්ධි අංශවල සේවය කළ නිලධාරීන්ටද විරුද්ධව අදාළ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ඔවුන් කි‍්‍රයාකරනු ඇතැයි අපි විශ්වාස කරමු.

lanka lead news


More News »