පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ඇසක් අහිමි වූ ආබාධිත සෙබලාගේ පෙත්සම විභාගයට අවසර හිමිවෙයි 

2020-09-15 02:53:00       257
feature-top
විශ්‍රාම වැටුප් ඉල්ලා ආබාධිත යුද හමුදා සෙබළුන් 2017 වසරේ පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අහිමි වීම වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා ඇස අහිමි වූ සෙබලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මැයි මස 4 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා.

විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල් නිශාන්ත මිහිරාජ් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙසට කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

මෙම පෙත්සම විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

ආබාධිත සෙබලුන් සදහා විශ්‍රාම වැටුප් ඉල්ලා සිදු කළ සාමකාමී උද්ඝෝෂණයක් සදහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා දරුණු පහරදීමක් සිදු කළ බවත් එහිදී තම ඇසකට දරුණු පහරදීමකට ලක් වූ බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම පහරදීමෙන් සිදු වූ හානියට වන්දි ලෙසට රුපියල් මිලියන 10ක වන්දි මුදලක් වගඋත්තරකරුවන් වෙත ගෙවීමට නියෝග කරන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

(under the courtesy of nethnews.lk news web)

More News »