සජිත්ගේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට - තිස්සටත් පාර්ලිමේන්තු වරම්

2020-08-14 06:51:00       1130
feature-top
සමගි ජන බලවේගය එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර 07 සඳහා අද සිය නියෝජිතයින් ඉදිරිපත් කළා. එම නම් ඇතුළත් ලේඛණය සමගි ජනබලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙතද යොමු කර තිබෙනවා.

ඒ, පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවට  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉම්තියාස් බාකීර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක සහ නීතිවේදී ඩයනා ගමගේ ඇතුළත් වනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයක් හිමිව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මෙවර පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ වසර 05 කට පසුව වීම විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් සන්ධානය සමග එක්වුණා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරුන්ගේ නම් ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ දේශපාලන පක්ෂ වෙත හෙට දිනය දක්වා කාලය ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 න් එම කාලය අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා කිසිවෙකුගේ නමක් යෝජනා කර නැහැ.
(under the courtesy of nethnews.lk news web)

More News »