ලංකාවේ කොරෝනා තත්ත්වය ගැන පැහැදිළි කිරීමක්

2020-08-13 01:50:00       979
feature-top
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු ආසාදිත පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 169 දෙනෙකු දක්වා අඩු වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 460 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය බලා පිටත්ව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප‍්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 629ක්. ඉන් 508 දෙනෙකුම රැඳවියන් වනවා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි සිවිල් නාවික ආරක්ෂකයෙක්.

ඒ අනුව මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 2880 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් ආසාදිතයින් 2638 දෙනෙකු පූර්ණ සුව ලබා මේ වනවිටත් රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 231 දෙනෙකු පමණයි.

මේ අතර ඊයේ දිනයේදී පමණක් මෙරටදී PCR පරීක්ෂණ 1370ක් සිදුකර තිබෙනවා. ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ 77,400 ක්.

මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 35 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අනුව මේවනවිට නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කල පුද්ගලයින් 30,133 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

ත‍්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුළ පුද්ගලයින් 3840 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »