සම්පායෝ ගේ පෙත්සම ගැන තීරණයක් ගැනීම හෙටට කල් යයි

2020-08-04 03:10:00       894
feature-top
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත් හිටුවන ලෙසට ඔහු විසින් ගොනු කළ රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ හෙට (28) සලකා බලන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

මිගමුව බන්ධනාගාරය තුළ සිටින රැදවියන්ට විද්‍යුත් උපාංග ඇතුළු වෙනත් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන ලෙසට ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ කැදවූ අවස්ථාවේ ගොනු කර ඇති  සංශෝධිත පෙත්සම නීතිපතිවරයා වෙත ලැබී නොමැති බැවින් පෙත්සම හෙට කැදවීමට අභියාචනාධිකරණය නියෝග කරන ලදියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත.

මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත්, ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගෙන ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බී  වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බව ත් ඒ අනුව තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බව පෙත්සම්කරු පවසා සිටියි.
(under the courtesy of nethnews.lk news web)

More News »