රාජාංගනයේ තිබු අවමංගල්‍ය උත්සවයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා : රට විවෘත කළාට ජනතාව අනවශ්‍ය ලෙස විවෘත උනා. මේ ගැන යලි විමසා බැලීම වැදගත්- සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්

2020-07-13 12:46:00       809
feature-top
අනුරාධපුරය, රාජාංගනය ප්‍රදේශයේදී පසුගියදා පැවති අවමංගල්‍ය උත්සවය සහ දානමය කටයුත්ත සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පැවති බවත් ඒ හරහා එම ප්‍රදේශයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම ඇති වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයෙකු හරහා රාජාංගනය ප්‍රදේශයේ පැවති දාන නිවසේදී වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් මේ වන විට එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළා.

පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන ස්ථාන වලදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට පවතින ඉඩකඩ සම්බන්ධයෙන් මෙය ඉතා හොද උදාහරණයක්. ඒ ගැන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

" රට විවෘත කළාට ජනතාව අනවශ්‍ය ලෙස විවෘත උනා. මේ ගැන යලිත් වතාවක් විමසා බැලීම වැදගත්. පාසැල් සතියකින් කල් දමනු ලැබුවේ ආරක්‍ෂිත පියවරක් ලෙසයි. නමුත් ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවන්න ඕන. පසුගිය සති කිහිපය තරම් රටේ ජනතාව විනෝද චාරිකා ගියේ නැහැ කිසි කලකවත්. තමන්ගේ මෙන්ම අන් අයගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතුයි. රට විවෘත කළේ ආර්ථිකය මෙන්ම තමන්ගේ ජිවනෝපාය යළි නගා සිටුවන්න. නමුත් සම්පුර්ණයෙන්ම කොරෝනා වෛරසයේ අවධානම පහව ගොස් නැහැ" යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙන්ම සෙසූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට නෛතික බලයක් ලබාදීම වැදගත් බවත් ඒ සම්බන්ධයෙන් අදාල ගැසට් නිවේදනයන් නිකුත් කිරිම ගැන සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කටයුතු කරනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »