ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ගැන නීතිපති කරුණු කියයි

2020-07-13 11:32:00       806
feature-top
පසුගිය ආණ්ඩුව විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් නව රජය විසින් පත් කර ඇති කමිටුවක් මගින් එම ගිවිසුම සමාලෝචනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම ගිවිසුම සමාලෝචනය කිරීමේ හැකියාවක් ඇති බැවින්  ශ්‍රී ලංකා සහ සිංගප්පූරු බළධාරීන් ඒ පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගනු ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු යසන්ත කෝදාගොඩ ගෙන් යුත් ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පවසා සිටියා.

ඒ අනුව මෙම සිංගප්පූරු ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වයන් හතක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නොවැම්බර්  මස 03 වැනි දා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙසට හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම ගොනු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදින්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතුවල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවත් මෙම ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බවයි.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සමෙන් පවසා සිටිනවා.  

(under the courtesy of nethnews.lk news web)

More News »