විරහවත් රසවින්දනයක් කරගෙන මහවැලියට පෙම්කල එදා තරුණයින් අද ඒ මහවැලි ගං දියෙහිම ජීවිතය සඟවන තැනට පත්වෙලා

2020-07-10 11:58:00       820
feature-top
දිනකට පුද්ගලයින් 8 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසා ගන්නා බවත් මේ සඳහා තරුණ පරපුර පෙළඹීම ඉතා භයානක තත්වයක් බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා සිටින්නේ දේශපාලනය පසෙකලා මෙවැනි සංවේදී ගැටලු වලට විසඳුම් සෙවිය යුතු බවයි.

කොළඹ ලියුම

පෙරේදා දිනය තරමක් කාර්‍ය බහුල දිනයකි.එදින උදෑසනම හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමක් බැහැ දැක උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබගත් අතර යළිත් එතනින් පිටත් වීමට පෙර උන්වහන්සේට වඳින අවස්ථාවේදී පැවසූ කරුණක් මට යළිත් සිහිවිය.

"අපේ මහත්තයෝ..ජාතිය ආගම ගැන මහත්තයා කතා කරන එක හොඳයි.අද කාලේ ජාතිය ආගම ගැන කතා කරන තරුණයෝ ගොඩක් අඩුයි..ගොඩක් තරුණයෝ අද ජාතියෙන් ආගමෙන් ඈත් වෙලා.සමහර තරුණයෝ යන්නෙ අමුතුම රැල්ලකට"

උන්වහන්සේ පැවසූ දෙයින් මේ සටහන අරඹන්නට නිමිත්තක් වූ තවත් කරුණක් එදින ඇසෙන්නට විය.

"වයස අවුරුදු 17 ක තරුණයෙක් සහ අවුරුදු 16 ක තරුණියක් පොල්ගොල්ල ජලාශ්‍රයෙන් පහලට පැන සිය දිවි හානි කරගනී "

වාහනයේ රේඩියෝවෙන් මේ පුවත ඇසුනු විට ඒ පිලිබඳව සංවේදී නොවූ බව කියන්නේ නම් එය මුසාවකි.ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක් තරුණ සිතුම් පැතුම් සමඟ කල් ගත කල තරුණයෙකු ලෙසින් එම පුවත සැබවින්ම මා සංවේගයට පත් කරවන ලද්දකි.

එදා ප්‍රේමයෙන් පරාජිතව විරහවද රස වින්දනයක් කොටගෙන ප්‍රේමයට සමුදී "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න "කියූ තරුණ පරපුරක් අද යටි ගිරියෙන් කෑ ගසා කියා සිටින්නේ "ලෝකයෙන් යමු..ආයෙ ඉපදෙමු "කියාය.."හිටියා ඇති.එකටම මැරෙමු"කියන තැනකට නූතන සංගීතය විසින් අපේ තරුණ පරපුර දක්කා ගෙන ගොස් ඇත.

එහි වගකීම අඩු වැඩි වශයෙන් අප අතරේම බෙදන අතර පුරවැසියෙකු ලෙස මා සතු වගකීමද සිහියේ තබාගෙනම මේ පිලිබඳව කොළඹ ලියුමකින් සටහනක් තැබිය යුතුයැයි ඒ මොහොතේම මා කල්පනා කරන්නට විය .

සියදිවි නසා ගැනීම මා අදහන බුදු දහම අනුව පාප කර්මයකි.එවන් අයට මරණයෙන් මතු සුගතියක් අත් නොවන බව දහමෙහි සඳහන්‍ ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තියට අනුවද සිය දිවි නසා ගැනීමට තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

ලොව වැඩිම සියදිවි නසා ගැනීම සිදුවන නාම ලේඛණයෙහි මීට වසර 3 කට පමණ පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ 31 වෙනි ස්ථානයේය.එය අගයක් ලෙස ගත් කල ලක්ෂයකට 14.2 කි.

ආසන්න වශයෙන් 3000 කට කිට්ටු ශ්‍රී ලාංකිකයින් පිරිසක් වසරකදී සිය දිවි හානි කරගනී.

ලොව දත්තයන්ට අනුව වයස අවුරුදු 10-29 අතර කාණ්ඩය සියදිවි නසා ගැනීමට වැඩි පෙළඹවීමක් සහිත පිරිසකි.

ඇතැම් ජනමාධ්‍යන් ද සියදිවි නසා ගත් පුද්ගලයින්ට වීරත්වයක් මවා පාන අතරම , නිර්මාණ ඔස්සේ එවැනි දෑ විකාශනය කිරිම නිසා කෝපය,ඉච්චා භංගත්වය වැනි කරුණු අතර දෝලනය වන තරුණ පරපුර ක්ෂණික තීරණයන්ට එළඹීම ඉතා භයානක සහ ඛේදනීය තත්වයකි.

අභියෝගවලට මුහුණ දීමට ඇති නොහැකියාව මෙන්ම ඔවුන්ගේ ප්‍රශ්න වලට සවන් දෙන්නන් නොමැති වීමද සියදිවි නසා ගැනීමට පෙළඹවීම් ඇති කරවන කරුණු වේ.

අප සමාජයේ කියවන්නන් වැඩි අතර සවන් දෙන්නන් සැබවින්ම අඩුය.නමුදු වඩා අවශ්‍ය කියවන්නන් නොව සවන් දෙන්නන්‍ ය.

මේ නිසාවෙන්ම අප රට තුල එක් දිනකට පුද්ගලයින් 8 දෙනෙකු සිය දිවි හානි කරගන්නා අතර ,එක් දිනක් තුල සියදිවි හානි කරගැනීමට උත්සාහ දරන පුද්ගලයින් ගණන 10 කි.

වඩාත් කණගාටුදායක කරුණ වන්නේ මෙවන් ඉක්මන් තීරණ සඳහා යොමුවන්නන් බහුතරය තරුණ ප්‍රජාව නියෝජනය කරන්නන් වීමය.

ඔවුන් මෙරට ශ්‍රම බලකායේ ප්‍රධාන පුරුකක් වන අතරම බොහෝ පවුල්වල ප්‍රධාන ආදයම් මාර්ගයන් හිස මත දරා සිටින්නන්ද ඒ අතර වේ.

ඔබට යමෙකු ප්‍රශ්නයක් කියන්නේ නම් ඔහුට මඳක් හෝ සාවධානව අසා සිටීමට ඔබ සතුව තත්පර කිහිපයක් හෝ තිබේනම් ඔබ ජීවිත කිහිපයක්ම රකින බවට සියුම් ආඩම්බරයක් හිතට දැනෙනු ඇත.

මෙය සමාජීය ප්‍රශ්නයක් වන නමුත් ජනප්‍රිය මාතෘකාවක් නොවන නිසා බොහෝ නායකයින් මෙය සීරු මාරුවට මඟ ඇර යන ගැටලුවකි .

එබැවින් ආගමික නායකයින් ,වැඩිහිටියන් සහ වෙනත් බුද්ධිමතුන් එකට හිඳ එක් මේසයක් වටා එකතු වී මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතුමය.

නො එසේනම් දිනපතා මේ මහ පොලොවට මිය දෙනුයේ,මහවැලි ගං තෙරෙහි සැඟව යනුයේ අන් කිසිවක් නොව අපේම රටේ පණ නල වන් තාරුණ්‍යය මය
(under the courtesy of nethgossip.lk news web)

More News »