බූස්ස බන්ධනාගාරයේ STF ආරක්ෂාව වැඩි කෙරේ

2020-06-07 10:23:00       818
feature-top
බූස්ස බන්ධනාගාරයට සපයා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයා සහ නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් ඊයේ (06) එහි කල සංචාරයකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දැනට කොළඹ බන්ධනාගාරවල රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලැබූවන් ඇතුළු ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අවධානය යොමුව ඇතැයි නෙත් නිවුස් මීට පෙර වාර්තා කළා. ඒ අනුවයි බූස්ස බන්ධනාගාරයේ යම් යම් වෙනස්කම් සිදු කෙරෙමින් තිබෙන්නේ.

මෙම බන්ධනාගාරයේ ගොඩනැගිලි හයක් පවතිනවා. ඒවායේ රඳවා තැබිය හැකි රඳවන් ගණන දෙසීයකට ආසන්නයි. ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් දැනටත් එහි රඳවා සිටිනවා.

බන්ධනාගාරයේ ගොඩනැගිලිවල අලූත්වැඩියාවන් ද මේ දිනවල සිදුවන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එහි CCTV කැමරා පද්ධතියක් සවි කිරීම ද සිදු වෙමින් තිබෙනවා. බූස්ස බන්ධනාගාරයට ඇතුළුවන බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව සියලූ දෙනා විශේෂ පරීක්ෂා කිරීම්වලට ලක් වීම ද විශේෂත්වයක්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම පරීක්ෂා කිරීම් සිදු කෙරෙනවා. බූස්ස බන්ධනාගාරය තුළ සහ අවට ස්ථාන 6ක පමණ මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා සිටින බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ.
(under the courtesy of nethnews.lk news web)

More News »