සෞඛ්‍ය උපදෙස් වැඩිපුරම කඩන තැන් පොලිසිය හඳුනාගනී

2020-05-27 01:47:00       789
feature-top
පුද්ගල දුරස්ථභාවය සහ සෙසු සෞඛ්‍ය උපදෙස් කඩ කෙරෙන ප‍්‍රධාන ස්ථාන ලෙස සුරාසැල් සහ ඇතැම් වෙළඳසැල් හඳුනාගෙන තිබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු කාලයේ දී රට පුරා කළ නිරීක්ෂණවලින් මේ බව හඳුනාගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් තවදුරටත් මෙහෙයුම් සඳහා අනියුක්ත කර සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙලෙස අත්අඩංගුවට ගන්නා තැනැත්තන්ට එරෙහිව වැරදි ඔප්පු කිරීම සඳහා අධිකරණයේ දී වීඩියෝ සාක්ෂි යොදා ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ. ඒ අනුව මෙහෙයුම් සඳහා අනුයුක්ත කර සිටින නිලධාරීන්ට කැමරා හෝ ස්මාර්ට් ජංගම දුරකථන ලබා දී ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.

ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන ආයතන සම්බන්ධයෙන් ද සොයා බලන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ. එවැනි ආයතන සම්බන්ධයෙන්ද සුදුසු පියවර ගැනීමට මැළි නොවන බව මෙහිදී අවධාරණය කෙරුණා.

දිවා කාලයේ දී ඇඳිරි නීතිය ඉවත් කර තිබුණද දිනපතා රාත‍්‍රී 10.00 සිට පසු දින අලූයම 4.00 දක්වා ඇඳිරි නීතිය රටපුරා ක‍්‍රියාත්මක වන බව ද මෙහි දී සිහිපත් කෙරුණා. එලෙස ඇඳිරි නීතිය පනවා තිබෙන කාලයේ දී ඒ බව නොසලකා කටයුතු කරන්නන් ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් සිදුවන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර ඊයේ රාත‍්‍රී 10.00 සිට අද අලූයම 4.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේදී ඇඳිරි නීතිය නොසලකා කටයුතු කළ පුද්ගලයින් 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය නොසලකා ධාවනය වූ වාහන 81 ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඉකුත් මාර්තු 20 වන දා සිට මේ දක්වා ඇඳිරි නීතිය පනවා ඇති කාලයේදීයි ඇඳිරි නීතිය නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් ගණන 66,341 දෙනෙක්. වාහන 18,695 ක් ද මෙම කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 21,225 දෙනෙකුට මේ වනවිටත් නඩු පවරා තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. ඔවුන්ගෙන් පුද්ගලයින් 8,362  දෙදෙනෙකුට දඬුවම් නියම කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

(under the courtesy of nethnews.lk news web)

More News »