දිස්ත‍්‍රික්ක 7ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවකට නායයාම් සහ පස් කඳු කඩා වැටීම පිළිබඳ අනතුරු ඇඟ වේ

2020-05-27 01:45:00       793
feature-top
දිස්ත‍්‍රික්ක 7ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවකට නායයාම් සහ පස් කඳු කඩා වැටීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත‍්‍රික්ක සඳහායි.

රත්නපුර දිස්ත‍්‍රික්්කයේ ඇලපාත, අයගම, කිරිඇල්ල, ගොඩකවෙල, කහවත්ත, ඇහැලියගොඩ, කුරුවිට, කලවාන,  ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල, නිවිතිගල සහ රත්නපුර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාමේ සහ පස් කඳු කඩා වැටීමේ අවදානම පවතිනවා.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක, ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, දැරණියගල, දෙහි ඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ කෑගල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානමට ලක්ව තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

මහනුවර දිස්ති‍්‍රක්කයේ ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද නුවරඑළිය දිස්ත‍්‍රික්කය අඹගමුව කෝරලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද නාය යාමේ සහ පස් කඳු කඩා වැටීමේ අවදානම පවතිනවා.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොළ ප‍්‍රාදේශීය ලේකම් කාට්ඨාශයේ ද නායයාම් හෝ පස් කඳු කඩා වැටීම් සිදුවිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

කළුතර දිස්ත‍්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද මෙලෙස අවදානමට ලක්ව තිබෙනවා.

අවදානම් ප‍්‍රදේශවල වැසියන් නායයාම් පූර්ව ලක්ෂණ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරුණේ. පොළොවෙ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හැරුණු පැලූම් සහ පොළොවේ ඇති වෙන ගිලාබැසීම් නායයාමේ පූර්ව ලක්ෂණ කිහිපයක් වනවා.

ගස්, විදුලි කණු සහ දුරකථන කුළුනු ආදිය ක‍්‍රමයෙන් ඇලවීම, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපුරුම් සහ ඒවායේ ක‍්‍රමික වැඩිවීමද නායයෑමේ පූර්ව ලක්ෂණයි.

එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැතිවී යාම ද නායයාමේ පූර්ව ලක්ෂණ විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිහිපත් කළා. එවැනි නායයාමේ පූර්ව ලක්ෂණ හඳුනාගත හොත් වහාම එම ප‍්‍රදේශවලින් ඉවත් යුතු බවයි වැඩිදුරටත් සිහිපත් කෙරුණේ.
(under the courtesy of nethnews.lk news web)

More News »