පිරිසක් වටකොට විහාරාධිපති හිමිට පහර දේ..

2020-05-26 09:07:00       787
feature-top
ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට බැන වැදී පහර දෙන ලදැයි කියන සිද්ධියට අදාලව සැකකරුවන් පස් දෙනෙකු ගාල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාලව තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් එයින් පසුව පැමිණිල්ල විභාග කර සිද්ධිය සමථයකට පත් කිරීමට ඇති හැකියාව හෝ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ගාල්ල පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විහාරාධිපති ස්වාමින් වහන්සේට අයත් බව කියන භූමියට අනවසරයෙන් ඇතුළු වූයේ යැයි කියන ළමුන් තිදෙනෙකු හා එම ළමුන්ගේ මව හා සීයා වන දෙදෙනෙක් ඇතුළු 05 දෙනෙකි.

ගිංතොට, ථූපාරාමය විහාරස්ථානයේ විහාරාධිපති අම්බලන්ගොඩ සුමේධ හිමියන් විසින් 24 රාත්‍රියේ ගාල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකාර ළමුන්ගේ වැඩිහිටියන් විසින් තමාට බැන තර්ජනය කල බවත් පසුව එක් අයෙක් පහර දුන් බවත් පැමිනිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

යාබදව ඇති විහාරස්ථානයට අයත් යැයි කියන ඉඩමක තාප්පයක් පෙදරේරුවන් ලවා විහාරාධිපතීන් වහන්සේ විසින් බන්දවා ඇත. එම ඉඩමට ආසන්නයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ළමුන් පිරිසක් විසින් බෝලයක් ගැනීමට එම ඉඩමට ඇතුල් වීමට උත්සාහ කර ඇති බවත් විහාරාධිපතීන් වහන්සේගේ විරෝධය නොතකා ඉඩමට ඇතුල් වීමේදී ආරවුලක් ඇති වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. ළමුන් අනවසරයෙන් ඉඩමට ඇතුල් වී තිබෙන අතර එහිදී වැඩිහිටියන් පැමිණ ආරවුලට මැදිහත් වි තිබෙන බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ගාල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කලේය.

ආරවුලට මැදිහත් වූ එම ප්‍රදේශයේම පුද්ගලයකු විසින් පහර දීමක් සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. සැකකරුවන් ඇතුළු ප්‍රදේශයේ තරුණයින් විහාරස්ථානයට අයත් අදාල ඉඩම මාර්ගයක් ලෙස භාවිතා කරමින් සිටින බවත් ඒ නිසා මෙම ආරවුල ඇති වි තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී වැඩි දුරටත් තහවුරු වී තිබේ. එම අවස්ථාවේ ඇතැම් සැකකරුවන් බිමත්ව සිට ඇති බවද ගාල්ල පොලීසිය කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »