සෞඛ්‍ය අංශ මැතිවරණය පුළුවන් කියද්දී විපක්‍ෂය බෑ කියා විලාප දෙයි..

2020-05-26 09:06:00       789
feature-top
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ උවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25) උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

” මම දැක්කා එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගයේ උදවිය මාධ්‍යවල කියනවා මීටරයක දුර ආරක්ෂා කර ගනිමින් කොහොමද ඡන්දය දෙන්නේ කියලා. ඒ නිසා ඡන්දය කල් දාන්න ඕනේ කියලා. මේක මහා විහිළුවක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවානම් අපි බලන්න ඕනේ මේ වෙලාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොහොමද ඡන්දය තියන්නේ කියන එක මිසක් කොහොමද ඡන්දය නොතියා ඉන්න කියන එක නෙමෙයි. මේ වෙනකොට සෞඛ්‍ය බළධාරීන්  පවා කියලා තියෙනවා ඡන්දය තියන්න පුළුවන් කියලා. එතකොට කොමිසමත් අහලා තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ වල අදහස. කොහොමත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළුවිය හැක්කේ වරකට එක් අයෙකුට පමණයි. ඒ නිසා ඡන්දය මධ්‍යස්ථානවල දී මීටරයක දුර ආරක්ෂා කිරීම ගැටළුවක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජේ.වි.පි, දෙමළ ජාතික සන්ධානය කියන මේ රටට සතුරු බල වේගවලට අවශ්‍ය ඡන්දය කල් දාගන්න. මොකද මේ අයට ජනතාව ඉදිරියට යන්න බැරි නිසා. ඒ නිසා මේ උදවිය බලන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඡන්දය කල් දාගන්නයි. යහපාලන ආණ්ඩුව බලය ඉන්නකම්ම බැලුවේ ඡන්ද කල් දාගන්න. එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට වගේ ම සජිත් මහත්තයා අටව ගත්ත සමගි ජන බලවේගය ට තියෙන්නෙත් මැතිවරණ භීතිකාවක්.

සෞඛ්‍ය අංශ කියන පිළිවෙලකට මහා ඡන්දය පවත්වලා ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් බලයට ගෙන ආ යුතුයි. පරණ පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ එජාපයට, දෙමළ ජාතික සන්ධානයට ජවිපෙත් ඩීල් දාගෙන ඒ අයත් එක්ක ඉන්නවා. පරණ පාර්ලිමේන්තුව නැවත කැදවුහොත් ගෝඨාභය රාජපක්ෂ – මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන මේ ජනතාවාදී වැඩ පිළිවෙලට විපක්ෂය අකුල් හෙළනවාමයි. ඒක ඉරහද වගේ විශ්වාසයි. ඒ නිසා විපක්ෂයේ නාඩගම්වලට ඉඩ දිය නොහැකියි.

කොරෝනා වසංගතය පාලනය කරගන්න අපිට හැකිවුණේ එක මතයක් දරපු ආණ්ඩුවක් රට තුළ සිටිය නිසයි. පහුගිය ආණ්ඩුවේ වගේ ජනාධිපතියි – අගමැතියි දෙපසට නොඇද්ද නිසයි. අපේ ජනාධිපතිතුමත් – අගමැතිතුමත් ආණ්ඩුවත් එක ස්ථානයක හිටියා කොරෝනා වසංගතය පරාජය කිරීම ගැන. ඒ නිසා රජයක් විදිහට අපට තීන්දු තීරණ ගන්න ලේසි වුණා. එක්සත් ජාතික පාක්ෂිකයෝම කියනවා ඔවුන්ගේ ආණ්ඩුව තිබුණා නම් අද මැරුණ තැන්වල ගසුත් පැළවෙලා කියලා. ඒ නිසා මේ රට ගොඩ ගන්නනම් ජනාධිපති – අගමැති දෙපසට අදින්නේ නැති එක ස්ථානයක පිහිටා කටයුතු කරන ආණ්ඩුවක් රටේ තිබිය යුතුයි. අප ඉදිරි මහා මැතිවරණයේ පත් කර ගත යුත්තේ එවැනි ආණ්ඩුවක්. ඒක මේ රටේ ජනතාව මේ වන විට හොදින් වටහාගෙන ඉන්නවා.  ”

මෙම අවස්ථාවේ දී මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල හා උප සභාපති සුජිව සම්පත් යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.
(under the courtesy of lankacnews.com news web)

More News »