ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම

2020-04-29 08:41:00       852
feature-top
දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ
    වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසකට බලපෑම්
    ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම 2020 දී සියයට 32කින් මන්දගාමී විය හැකියි
    සංචාරක කර්මාන්තයේ අකර්මන්‍ය ස්වභාවය බොහෝ කලක්
    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල පහළ යෑමක්
    භාණ්ඩ හා සේවා අපනයන ආදායම් පහළට
    1930 ලෝක ආර්ථික අවපාතයෙන් පසු ගෝලීය ආර්ථිකයේ දරුණුතම පසුබෑම

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග, එහි පැතිරීම මැඩපැවැත්වීමට උපකාරී වුවද, එමගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කර තිබේ. මහජනතාව සඳහා නිවාඩු ප්‍රකාශයට පත්කිරීම, ඇඳිරි නීතිය පැනවීම, මහජන සේවා සීමිතව පවත්වාගෙන යෑම සහ ගුවන්තොටුපල සහ වරාය වසා දැමීම වැනි මගීන්ගේ ගමනාගමනය සීමා කිරීමට ගනු ලැබූ වෙනත් ක්‍රියාමාර්ග මගින් ප්‍රධාන ආර්ථික අංශ කිහිපයකට බලපෑම් ඇති කරනු ඇත. සමාජයේ විශාල කොටසකට ආදායම් හා ජීවනෝපායන් අහිමිවීම සමග ඇති විය හැකි සමාජ - ආර්ථික බලපෑම ද ඉහළ යා හැකිය. ආසන්න වශයෙන් සේවා නියුක්ත පුද්ගලයින්ගෙන් සියයට 60ක් පමණ රැකියා කිරීම සහ දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බැවින්, විශාල පුද්ගල සංඛ්‍යාවක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ තිබේ. ජනගහනයේ අනෙකුත් අවදානමට ලක්විය හැකි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසක් මෙම තත්ත්වයෙන් අධික ලෙස බලපෑමට ලක්වීමට ඉඩ ඇත. වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා මුල් අවස්ථාවේදීම ගන්නා ලද පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සැලකිය යුුතු පීඩනයක් ඇති නොවුන ද, වෛරසයේ පැතිර යෑම අනපේක්ෂිත ලෙස ඉහළ ගියහොත්, එමගින් මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ සීමිත ධාරිතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

ගෝලීය ආර්ථිකය 1930 දශකයේ ඇති වූ ලෝක ආර්ථික අවපාතයෙන් පසු දරුණුතම පසුබෑමට මුහුණ දෙමින් සිටියි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපීය කලාපය සහ ජපානය වැනි බොහෝ දියුණු ආර්ථිකයන් 2020 දී සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කරනු ඇත. චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ද සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම 2020 දී සියයට 32කින් පමණ මන්දගාමී විය හැකි බව ලෝක වෙළෙඳ සංවිධානය (WTO) පුරෝකථනය කරයි. ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය නිසා ඉල්ලුම දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සෘජුවම බලපෑම් ඇති විය හැකි අතර, වෛරසයේ පැතිරයෑම කෙටිකාලීන ආර්ථික බලපෑම අවම කිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් ගනු ලබන විිවිධ ක්‍රියාමාර්ග තුළින්, සැපයුම්දාම සඳහා බලපෑම් එල්ල විය හැකි අතර, එමගින් රටේ වර්තමාන හා අනාගත අපනයන ධාරිතාවට බලපෑම් ඇති විය හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු සංචාරක අංශය වේගයෙන් යථා තත්ත්වයට පත් වුවද, මෙම කොවිඩ්-19 වසංගතය නිසා සංචාරක අංශය බෙහෙවින් පසුබෑමට ලක් විය හැකි අතර ඉන් පසුව ද යම් දිගුකාලීන හා කල් පවතින ගැටලු සඳහා මුහුණ දීමට සිදුවනු ඇත. ගෝලීය ආර්ථිකයේ සමස්ත පසුබෑම සහ චීනය, ඉන්දියාව සහ යුරෝපය ඇතුළු ශ්‍රී ලංකාව සම්ප්‍රදායිකව සංචාරකයින් ආකර්ෂණය කරගෙන ඇති රටවල් සහ කලාපවල ආර්ථික දුෂ්කරතා සංචාරක අංශය යථා තත්ත්වයට පත්වීමට බාධා ඇති කරනු ඇත. තවද, ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් වෛරසයේ “දෙවන ව්‍යාප්තියක්“ ඇති වීමේ හැකියාවක් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන අතර එමගින්, වසංගතය තුරන් වූවායින් පසුව වුවද “සමාජ දුරස්ථතාවය“ මාස කිහිපයක් පුරා පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව අවධාරණය කරයි. එබැවින් සංචාරය කිරීම හා සම්බන්ධ පාරිභෝගික ආකල්පවල සැලකිය යුතු සෘණාත්මක වෙනසක් සිදු වුවහොත් සංචාරක කර්මාන්තයේ මෙම අකර්මන්‍ය ස්වභාවය බොහෝ කලක් පවතිනු ඇත.

ගෝලීය ආර්ථිකය සංකෝචනය වීමේ තවත් මූලික බලපෑමක් ලෙස, ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මත හිතකර බලපෑමක් ඇති කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල ද යම් පහළ යෑමක් ඇති විය හැකිය. මෑත වසරවල දී, ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් හි මූලික මූලාශ්‍ර ලෙස මැදපෙරදිග, යුරෝපා සංගමය සහ ඈත පෙරදිග ආසියාව දැක්විය හැකිය. කොවිඩ්-19 ව්‍යාප්තිය යුරෝපය සහ පෙරදිග ආසියාවට සැලකිය යුතු ලෙස බලපා ඇති අතර, මැදපෙරදිග කලාපයට මෙම වසංගතය පමණක් නොව, ගෝලීය බොරතෙල් ඉල්ලුම දුර්වල වීම සහ ඔපෙක්+ සන්ධානයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර බොරතෙල් මිල හදිසියේ පහත වැටීම ද බලපා ඇත. මෙම තත්ත්වය තුළ, ඉන්ධන ආනයන පිරිවැය පහළ යෑම මගින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය මත යම් හිතකර බලපෑමක් සිදු කළද, භාණ්ඩ හා සේවා අපනයන ආදායම් සහ සේවා නියුක්ති ප්‍රේෂණවල ලැබීම් හි අපේක්ෂිත පහළ යෑම විදේශීය අංශයේ ජංගම ගිණුම මත ඇති කරන සමස්ත බලපෑම 2020 දී සෘණාත්මක වනු ඇත.

මෙම ආර්ථික දුර්වලතා මධ්‍යයේ බොහෝ රටවල් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් ක්‍රියාත්මක කළ අතර, මූල්‍ය අංශය හරහා පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් ලබා දීම සහතික කිරීම සඳහා සාම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පොලී අනුපාතික පහළ මට්ටමක පැවතීම නිසා ශ්‍රී ලංකාව වැනි රටවල ණය ආපසු ගෙවීමේ ප්‍රතිමූල්‍යකරණ පිරිවැය පහළ යා හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්ගේ දක්නට ලැබෙන ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු ගලායෑම් මගින් එවැනි ධනාත්මක ප්‍රතිඵලවල බලපෑම නිශේධනය වී ඇත. කෙටිකාලීන ප්‍රාග්ධන ප්‍රවාහයන් ශ්‍රී ලංකාවේ නිරාවරණය වීම ඉතා සුළු වුවද, එමගින් අනෙකුත් නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් හි දක්නට ලැබෙන ආකාරයට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඵලදා අනුපාතික ද තියුණු ලෙස ඉහළ ගොස් ඇත. මීට අමතරව, මෙම වසංගත තත්ත්වය නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ලොව පුරා විදේශ සෘජු ආයෝජන ප්‍රවාහයන් කෙරෙහි විශාල ලෙස බලපෑම් සිදුවන අතර, එමගින් ණය නොවන ප්‍රාග්ධන ප්‍රවාහ ආකර්ෂණ්‍ය කර ගැනීමට ශ්‍රී ලංකාවේ අවස්ථාවන්ට ද කෙටිකාලීන වශයෙන් අහිතකර ලෙස බලපානු ඇත.

එබැවින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වන අතිරේක මූල්‍ය සම්පත් යෙදවීම ඇතුළුව, විවිධ සෘජු හා වක්‍ර මාර්ග ඔස්සේ කොවිඩ්-19 වසංගතය ආර්ථික වර්ධනය කෙරෙහි පෙර පැවති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව, මෙම වසර තුළ දී අහිතකර ලෙස බලපානු ඇත. ඒ අනුව, මැදි කාලීනව ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට ළඟා වීමට පෙර මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2020 වසරේ දී සියයට 1.5ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (28) දින ප්‍රකාශයට පත්කරන ලද 2019 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.


(under the courtesy of adaderana.lk news web)

More News »