පාකිස්නයේ ක්‍රිකට් තරුව සානා පිටියෙන් සමු ගනී

2020-04-27 09:14:00       177
feature-top
එතෙක් මෙතෙක් පාකිස්තානයෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස විචාරකයන්ගේ ඇගැයිමට ලක්වූ පාකිස්තාන ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාව සානා මීර් වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරමින් සමුගැනීමේ නිවේදනය නිකුත් කළාය. වසර 2005දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින් තරග බිමට එක්වූ ඇය පෞද්ගලික ජීවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මේ තීරණය ගත් බව සඳහන් කළාය.

34 හැවිරිදි වියේ පසුවන සානා මීර් තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස දස්කම් දක්වමින් ජාත්‍යන්තර එක්දින තරග 120කට සහ විස්සයි20 තරග 106කට ක්‍රීඩා කර තිබේ. එක්දින තරග බිමේදී ලකුණු 1630ක් රැස් කරමින් කඩුලු 151ක් දවාලීමට සමත්වූ ඇය විස්සයි20 තරග බිමේදී ලකුණු 802ක් රැස් කිරීමට සමත්වූයේ කඩුලු 89ක් දවාලමිනි. පාකිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු දවාලූ පන්දු යවන්නිය ලෙස වාර්තාපොතට එක්වූ සානා එරට වැඩිම තරග ප්‍රමාණයකට සහභාගි වූ ක්‍රීඩිකාව ද වන්නීය.

දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකාරිනියක ලෙසත්, පිට දඟ පන්දු යවන්නියක ලෙසත් දස්කම් දක්වන ඇය පාකිස්තාන පිලේ නායිකාව ලෙස 2009 සිට වසර 8ක කාලයක් කටයුතු කළ අතර එක්දින ලෝක කුසලාන තරගාමාලා 2කදී (2013, 2017) සහ විස්සයි20 ලෝක කුසලාන තරගමාලා 5කදී (2009, 2010, 2012, 2014, 2016) සිය කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය දිනාගත්තාය.

පසුගිය නොවැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මඳ විවේකයක් ලබාගත් සානා මීර් මේ වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගමාලාවට ක්‍රීඩා කළ පාකිස්තාන පිලට ඇතුළත් නොවූයේ දස්කම් අතරට නොසිටි බැවිනි. ඒ අනුව ඇගේ අවසන් තරගය වූයේ පසුගිය නොවැම්බරයේ බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගයයි.

‘මෙවැනි තීරණයක් ගන්න පසුගිය මාස කිහිපය මට අවස්ථාව ලබා දී තිබුණා. ඉතින් මං හිතන්නේ මේක තමයි හොඳම වෙලාව ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙන්න. මගේ රට වෙනුවෙන් සහ ක්‍රීඩාව වෙනුවෙන් උපරිම දස්කම් දැක්වූවා කියා මම විශ්වාස කරනවා.‘ සමුගැනීමේ නිවේදනය නිකුත් කරමින් සානා මීර් එසේ කීවාය.

‘මගේ ක්‍රිකට් ගමන අතරතුර මට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ ශක්තිමත් මිත්‍රත්වයන් රැසක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඔවුන්ගේ විස්තර අසා දැනගැනීමෙන් මගේ ජීවිතයට අවශ්‍ය ශක්තිය උදාකරගැනීමට හැකිවුණා.‘ ඇය එසේ කීවාය.

තම ක්‍රිකට් දිවියේදී නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම සිය ස්තුතිය පිරිනමන බවත්, ඉදිරියේ දී අවශ්‍ය නම් සිය දැනුම සහ අත්දැකීම් පාකිස්තානු ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ලබා දීමට සූදානම් බවත් සිය සමුගැනීම ප්‍රකාශ කරමින් ඇය වැඩි දුරටත් කීවාය. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත සිය ස්තුතිය පළ කරන බවද සමුගැනීමේ ලිපිය මගින් ඇය කියා සිටියාය.

More News »