ඇඟළුම් අංශයේ ලක්ෂයකගේ රැකියා අවිනිශ්චිතයි

2020-04-25 09:12:00       834
feature-top
මේ වන විට මෙරට ඇඟළුම් කර්මාන්තයේ ඇස්තමේන්තුගත දත්ත අනුව ලක්ෂයක පමණ සේවක සංඛ්‍යාවකගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවයක් පැන නැගී ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පවසයි. අද දෙරණ Big Focus වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ සම්බන්ධයෙන් මේ වන විට රජය සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි.

“මාර්තු මාසයේ තත්ත්වය දිහා බැලුවොත් මේ වෙනකොට මිලියන 202 ක පාඩුවක් එක මාසෙකට අපිට වෙලා තියෙනවා. 2019 මාර්තු මාසය සමඟ සසඳා බැලුවොත් 50%කට වැඩි පාඩුවක්. මාර්තු මාසයේ භාගයයි වැඩ කළේ. ඉදිරි මාසවල දී කොතරම් අවපාතයක් එනවාද කියා තාම හිතාගන්න බැරුව ඉන්නේ.“

මෙහිදී ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවන් හි අවදානමක් තිබේදැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින්, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පැවසුවේ, පැහැදිලිවම එවැනි අවදානමක් ඇති බවයි.

“අපි කවුරුත් දන්නා පරිදි මුළු මහත් ලෝකයම මේ තර්ජනයට මුහුණ දීම නිසා, සාමාන්‍ය මිනිස්සු ෂොපිං මෝල් එකකට ගිහිං ඇඳුම් ගන්නේ නැහැ. රටවල් ලොක්ඩවුන් කරලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් පැෂන් හවුසස්, රිටේල් ෂොප්ස් අරින්නේ නැහැ. මේ අවස්ථාවේ දී ගැණුම්කරුවන්ට භාණ්ඩ විකුණා ගැනීමට බැරි නිසා මුළු ලෝකෙටම මේ අවපාතය බලපානවා.  එම නිසා අනිවාර්යයෙන් නිෂ්පාදන ධාරිතාවය නිසි සේ පවත්වා ගැනීමට බැරි නිසා රැකියා ප්‍රශ්නය දරුණු ලෙස බලපාන්න පුළුවන්.“

“අපි ඇස්තමේන්තු කරලා තියෙනවා, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ අංශය දිහා බැලුවොත් අපේ රට තුළ ලක්ෂයක පමණ සේවක සංඛ්‍යාවකගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තියෙනවා. අපි දැනට රජයත් සමඟ සාකච්ඡා කරගෙන යනවා, කොහොමද මේක අපි විසඳා ගන්නේ කියලා.“


(under the courtesy of adaderana.lk news web)

More News »