කොවිඩ් වසංගතයෙන් පාකිස්තානයට තවත් තරගාවලියක් අහිමි වෙයි

2020-04-24 09:19:00       824
feature-top
කොරෝනා වෛරසය හේතුවෙන් ක්‍රීඩා ඉසව් රැසක් අත්හිටුවීමට සිදුවූ අතර ඊට බිලිවූ නවතම තරගාවලිය වන්නේ පාකිස්තාන කණ්ඩායමේ නෙදර්ලන්ත සංචාරයයි. එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ මේ සංචාරයත් දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

ජූලි මස 4, 7 සහ 9 දිනවල ඇම්ස්ටෙල්වීන්හිදී දෙරට අතර ජාත්‍යන්තර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කොරෝනා තත්ත්වය හේතුවෙන් මේ වසරේ සැප්තැම්බර් 1 වැනිදා දක්වා ක්‍රීඩා, සංස්කෘතික උත්සව හෝ කිසිඳු පොදු ඉසව්වක් පැවැත්වීම තහනම් කිරීමට ලන්දේසි රජය කටයුතු කර ඇති බැවින් මේ තරගාවලියද පැවැත්වීමට නොහැකි වී ඇත.

පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතා පවසන්නේ නෙදර්ලන්ත තරග සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවීම කනගාටුදායක කරුණක් වුවත් මේ කොරෝනා වසංගත තත්ත්වය සමග ගතහැකි හොඳම සහ මානුෂීයම තීරණය මෙය බවයි.

මේ වසංගත තත්ත්වය පාලනය වූ වහාම මේ කල් දැමුණු ක්‍රිකට් තරගාවලිය සඳහා සිය කණ්ඩායම එරටට පැමිණීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත. ක්‍රීඩකයන්ගේ, කාර්ය මණ්ඩලයේ සහ රසිකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදෙන බැවින් මේ තීරණය ගත් බව නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති බෙටී ටිමර් මහතා පවසයි.


More News »