ඉතාලියේ කොරෝනා මරණ දස දහස ඉක්මවයි

2020-03-29 11:10:00       771
feature-top
නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට දස දහස ඉක්මවා තිබේ.

ඒ ගතවූ පැය 24 තුළදී අලුතින් වාර්තාවූ මරණ 889ත් සමඟයි.

අමෙරිකාවත් දරුණු ලෙස වෛරසයට ගොදුරු වෙමින් ඇති පසුබිමක සමස්ත නිව්යෝක් ප්‍රාන්තයම නිරෝධායනයට ලක්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබේ.

නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 30,851 ක් වාර්තා වී තිබේ.

හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 662,967 කි.

කෙසේවෙතත් ආසාදිතයින් 141,953 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

චීනයද පසුකරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි.

ඒ අතරින් හරි අඩක් පමණ වාර්තාවී තිබෙන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්ය.

වෛරසයන් මියගිය ගණන දෙදහස් දෙසීය ඉක්මවා තිබේ.

මේ අතර නිව්යෝක් ප්‍රාන්තයම සති දෙකක කාලයක් නිරෝධායනයට ලක්කිරීම ගැන සලකා බලමින් සිටින බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

කනෙක්ටිකට් සහ නිව් ජර්සි ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයක්ද නිරෝධායනයට ලක්කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර වෛරසයට ගොදුරුවී නොමැති නමුත් ඊට ගොදුරුවීමේ අවදානමක් සහි පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අමෙරිකානු නාවික හමුදාවට අයත් "මර්සි" රෝහල් නෞකාව ලොස් ඇන්ජලීස් වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

අදාළ නෞකාව රෝහල් ඇඳන් දහසකින් සහ වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් එක්දහස් දෙසීයකින් සමන්විතයි.

ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉතාලියෙන් වාර්තා වන අතර ගතවූ පැය 24 ඇතුළත වාර්තාවූ මරණ 889ත් සමග එම සංඛ්‍යාව දසදහස ඉක්මවා ගියේය.

එරටින් හඳුනාගෙන ඇති මුලු ආසාදිතයන් ගණන 92,472කි.

මෙවන් පසුබිමක් තුළ එරට පාසැල් වසා දැමීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අගමැති ගුසෙප් කොන්ටේ තීරණය කර තිබේ.

රට අකර්මණ්‍ය කිරීමෙන් ආර්ථික අතින් පසුබෑමට ලක්වූ ජනතාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉතාලි රජය අමෙරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් වෙන්කර ඇති බවත් සඳහන්ය.


(under the courtesy of adaderana.lk news web)

More News »