අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගන්නට ඉන්දියාවේ කිසිදු වැඩපිළිවෙලක් නෑ

2020-03-25 02:59:00       771
feature-top
ලෝකය පුරා උද්ගතව ඇති තත්ත්වය සලකා ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහණයක් පවතින රාජ්‍යය වන ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය.

ඒ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයින් 562දෙනෙකු පමණක් හමුවී මරණ 11ක් පමණක් සිදුව ඇති පසුබිමකයි.

ඇඳිරිනීති තත්ත්වයක් ලෙසින් ප්‍රකාශයට පත්කර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මෙම නව නීතිය යටතේ බිලියන 1.3ක් වන සමස්ත ඉන්දීය ප්‍රජාවටම දැඩි බලපෑම් එල්ල කෙරෙනු ඇති.

දින 21ක් රටේම කටයුතු අඩපණ කිරීමට සමත් වූ මෙම තීරණය ප්‍රකාශ කරමින් ඉන්දීය අගමැතිවරයා සදහන් කළේ, ඉතාලියේ ඇතිවූ ආපදාව ඉන්දියාව තුළ ඇතිවීමට ඉඩලබානොදෙන බවයි.

මෙම කාලසීමාව මනාව කලමණාකරණය කරගත යුතු බවත්, යම්හෙයකින් රජය සහ ජනතාව එසේ කිරීමට අපොහොසත් වුවහොත් රටේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමක් ඇති බවත්, අගමැතිවරයා පෙන්වාදුන්නේය.

මේ අතර අගමැතිවරයාගේ ප්‍රකාශයත් සමගින් නවදිල්ලි අගනුවර ඇතුළු නගර රැසක ජනතාව ඊයේ රාත්‍රී කාලයේදී කඩිමුඩියේ භාණ්ඩ මිලට ගන්නා ආකාරය දක්නට ලැබුණි.

කෙසේ වෙතත් ඉදිරි කාලසීමාවේදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගන්නා ආකාරය පිළිබද කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් හදුන්වාදී නොමැතිවීම විශේෂත්වයක්.

දෛනික ආදායම අමෙරිකානු ඩොලර් 3.10ට අඩු සියයට 60ක ජනගහණයක් වාසය කරන ඉන්දියාව, මෙම අවස්ථාව සදහා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න සමීපව සලකාබැලිය යුතු බවයි, විදෙස් වාර්තා පවසන්නේ.
(under the courtesy of adaderana.lk news web)

More News »