රියදුරන් 1000 කට සෞදියේ බස් රථ රියදුරන් ලෙස සේවයට එක්වීමේ අවස්ථාවක්

2020-02-21 04:27:00       726
feature-top
සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට (Expression of Interest) දෙරටේ නියෝජිතයින් විසින් ඊයේ දින එළැඹ තිබෙනවා.

මෙම එකගතා ගිවිසුම සඳහා ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම (Public Transport Company) නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂක මොන්ටිගෝමර්ස් රොබට් ගාලන් (Montigomars Robert Galan) අත්සන් තබන ලදී.

මේ යටතේ ශ්‍රි ලාංකිකයින් 1000 ක් සඳහා රැකියා අවස්ථා හිමිවන අතර බර වාහන රියදුරු බලපත්‍ර හිමි වයස අවුරුදු 45ට අඩු, වසර 2ක පළපුරුද්ද ඇති පුද්ගලයින්ට මෙම රැකියා අවස්ථා සදහා අයදුම් කළ හැකිවේ. රැකියාවට පෙර සති 3ක කාලයක් ඉංග්‍රිසි හා අරාබි භාෂා පුහුණුව මෙරටදී නොමිළේ  ලබා දෙන අතර තෝරා ගන්නා රැකියා ලාභීන් හට එරටදීද විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එරට රියදුරු බලපත්‍රයද ලබාදීමට කටයුතු කෙරේ.

බඳවා ගන්නා ශ්‍රමිකයින් හට ගුවන් ටිකට්පත්, ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදෙනු ලබන අතර කිසිඳු ගාස්තුවක් ගෙවීමකින් තොරව මෙම රැකියා අවස්ථාවන් හිමි වේ.

සෞදි අරාබියේ රියාද්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මාධව දේශප්‍රියගේ මැදිහත්වීමෙන් සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමි වීමට නියමිත අතර මෙම රැකියා සඳහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන රැකියා අපේක්ෂිතයින්ට කාර්යාංශයේ රැකියා බැංකුවට අයදුම්පතක් ඉදිරිපත් කිරීම මගින් ඒ සඳහා අයදුම් කළ හැකිය.

බර වාහන රියදුරු රැකියා සඳහා අදාළ අවබෝතා ගිවිසුම වෙනුවෙන් දෙරටේ නියෝජිතයින් විසින් නුදුරු දිනකදී අත්සන් කිරීමට නියමිතය.
(under the courtesy of nethnews.lk news web)

More News »