විපක්‍ෂයේ සහාය නෑ .... ජනතාව වෙනුවෙන් ගෙනා පරිපූරක ඇස්තමේන්තුවට ඉදිරිපත් කිරීමට ගිය සංශෝධන 2ක් ආණ්ඩුව ඉවත් කර ගනී

2020-02-21 10:36:00       725
feature-top
විරුද්ධ පක්ෂයේ සහයෝගය නොලැබෙන බව කියමින්, පරිපූරක ඇස්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ මුදල් සංශෝධන දෙකක් ඊයේ (20 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව වැළකී සිටි​යේය.

2019 වසරේ ඔක්තෝබර් මස 23 වැනි දින සම්මත කරනු ලැබූ මෙම වස​රේ මුල් කාර්තුව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවට ආණ්ඩුව මෙම සංශෝධන දෙක ඉදිරිපත් කිරීමට නියමිත විය.

ඒ අනුව ​රටේ වියදම් වශයෙන් රුපියල් බිලියන එක්දහස් එකසිය විසි හතරකට අධික මුදලක් ඒකාබද්ධ මුදලින් ගෙවිය යුතු බවට සහ රුපියල් බිලියන එක්දහස් අසූ අටක මුදලක් ණය වශයෙන් ලබා ගැනීමට එමගින් යෝජනා කර තිබිණි.

කෙසේ වෙතත් මේ යෝජනා සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ (20 වැනිදා) පෙරවරු 10.30 ට පමණ පාර්ලිමේන්තුව පැය එකහමාරක පමණ කාලයක් කල් තබා පක්ෂ නායක රැස්වීමක්ද පවත්වා එකඟතාවකට ඒමටද ආණ්ඩුවට හා විපක්ෂයට නොහැකි විය.

ලක්ෂ්මන් කිරිඇල්ල (එජාප)

අද රජය යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා කොටස් දෙකකින්. අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි මේ යෝජනාවේ පළමු යෝජනාවට අපි එකඟයි. අපි පක්ෂයි. අපි යෝජනාවකින් දුන්නා එක මේකට වැටිල නෑ.

සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන (එජනිස)

පළමුවෙන්ම මේ යෝජනාව මා විසින් ඉදිරිපත් කළ යුතුයි. ඉන් පසුව තමයි ඒකට කෑලි එකතු කරන්න හෝ වෙනයම් වෙනසක් කරන්න ඕන. මෙතුමා හිටපු සභානායක, අගමැතිතුමා වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම යෝජනාව මගින් විශේෂයෙන්ම රෝහල්වල බෙහෙත්වලට ගෙවන්න තිබෙනවා. පොහොර මිලදී ගත් ඒවට විශාල මුදලක් ගෙවන්න තියෙනවා. ඒ වගේම කොන්ත්‍රාත්වලට සහ විදේශ මුදල් අරගෙන අපේ ගිණුම්වල සකස් කිරීම. මහජනයාගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තමයි අපි මේ යෝජනාව ගේන්නේ. මේ යෝජනාවට විරුද්ධ වෙන්න විරුද්ධ පක්ෂය රැස්වෙලා තීරණයක් අරගෙන තිබෙනවා. විරුද්ධ පක්ෂය ගත්තු ණය නොගෙවා ගෙදර ගිහින් තිබෙනවා. ජනතාව විරුද්ධ පක්ෂය ගෙදර යවලා තිබෙනවා.

(ඝෝෂා)

කථානායක - ඔබතුමා යෝජනාව ගේන්න

දිනේෂ් ගුණවර්ධන මහතා - ජනතා සේවය සඳහා ගෙන එන යෝජනාවට විරුද්ධ පක්ෂය විරුද්ධ වෙනවා. අපිට විපක්ෂය කියනවා සහයෝගය දෙන්න බෑ කිලා. ඒ නිසා හානිදායි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදී අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නෙ නෑ.

(සභාවේ ඝෝෂා)

ලක්ෂ්මන් කිරිඇල්ල

අපට දැනගන්න ඕන මේ යෝජනා දෙකම ඉවත් කරනවද කියලා. සම්පූර්ණයෙන්ම ඉල්ලා අස් කර ගත්තාද.

කථානායක- ඔව්.සම්පූර්ණයෙන් ඉවත්කර ගත්තා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (එජාප)

මේ යෝජනාව ඉල්ලා අස් කරගත්තු මොහොතේ රටට වැරදි පණිවුඩයක් යනවා.

මේ යෝජනාව අංශ දෙකක් තිබෙනවා. සංවර්ධන යෝජනා සියල්ලටම එකඟයි. සංවර්ධන හා සහන යෝජනාවලට විරුද්ධ නෑ අපි. ණය සීමාව උස්සනවාට විරුද්ධයි අපි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කිව්වා ගෙවන්න මුදල් නෑ කියලා ඔහු හින්දු පුවත්පතට ප්‍රකාශයක් කර තිබෙනවා. ඉන්දීය රජයත් සමග කතා කළා කියලා. ණය ගෙවන්න අපිට කාලයක් දෙන්න කියලා. එහෙම නම් කොහොමද ණය සීමාව වැඩි කරන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »