රාජිතට යලි ජම්පර සූදානම්.. ඇප කැන්සල් කරන්නයි නීතිපති උසාවි යයි..

2020-02-18 04:09:00       727
feature-top
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් ඇප අවලංගු කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත විභාග කිරීමට නොතිසි නිකුත් කරනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මේ මස 21 වැනිදාට දින නියම කළේය.

එම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා හා සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අයදුම්පත විභාගයට ගැනීමට නොතිසි නිකුත් කිරීම සම්බන්ධව තීරණය දැනුම් දීම සඳහා එසේ දින නියම කෙරුණි.

මහත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය මස 30වැනිදා රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප නියෝගය අවලංගු කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා මේ ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලදි.

පසුගිය මස 24වැනිදා මේ මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධ සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු පසුගිය 26වැනිදා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගැනුණු බව සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇප නියම කිරීමෙන් පසුව ද දින 18ක් එම රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද බව පවසන ඔහු මෙතෙක් අධිකරණය වෙත ඒ බව සනාථ කිරීමට කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.

නීතිපතිවරයා හා බන්ධනාගාර අධිකාරිවරයා සැකකාර වගඋත්තරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු මඟින් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් ද නොසලකා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කිරීම සිදුකළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

රටේ සාමාන්‍ය පුරවැසියකුට එක් නීතියක් හා දේශපාලනඥයකු වූ පුද්ගලයකුට එක විදිහකටත් නීතිය ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ වනවිටත් සැකකාර වගඋත්තරකරු රෝහල්ගත වූයේ කුමකටද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තා කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් කළේය.

සැකකාර වගඋත්තරකරුට එරෙහිව වන චෝදනා ඇප දිය හැකි චෝදනා වුවද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී රටේ සාමාන්‍ය පුද්ගලයකුට හා දේශපාලනඥයකුට රටේ නීතිය දෙවිදිහක් නොවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවනට නිල වශයෙන් නොතිසි නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියේය.

සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීම සිදුකරනු ලැබුවේ ඇප පනතේ විධිවිධානයන්ට අනුව බව ප්‍රකාශ කළ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීත්‍යානුකූල බව සඳහන් කළේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රතිශෝධන අයදුම්පත විභාගය සඳහා නොතිසි නිකුත් කිරීම සම්බන්ධව තීරණය ප්‍රකාශ කිරීමට මේ මස 21 දිනට නියම කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »