ලෝකයේ අඩුම කාලයක් පාසල් යන්නේ අපේ ළමයි : අධ්‍යාපන ඇමැති

2020-02-17 06:16:00       726
feature-top
ලෝකයේ වෙනත් රටවල් හා සසඳා බැලීමේදී අඩුම කාලයක් පාසල් යන්නේ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

වසරේ දින 365  ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත් එම දිනයන්හිද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය 06ක් බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් සමස්තයක් වශයෙන් ගත් කළ එය දින පනහක් පමණක් බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂ ව එය ඉතා අඩු කාලයක් බවත් එසේ තිබියදීත් ප්‍රාථමික ශ්‍රේණිවල සිටම දරුවන්ගේ දැනුම විභාග මතින් පරීක්ෂා කිරීමට තවමත් අප යොමුව සිටීම වෙනස් විය යුතු තත්ත්වයක් බවත්, පින්ලන්තය වැනි ලෝකයේ අධ්‍යාපනය අතින් දියුණු රටවල ප්‍රාථමික පන්තිවල දී දරුවන්ගේ දැනුම මැන බලන්නේ ක්‍රියාකාරකම් හරහා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත නිවාස ලබාදීම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

රටේ සියලු රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුවිශේෂ අභිප්‍රායක් වූ බවත්, විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු සමයේ මෙන් පාට, පක්ෂ, දේශපාලන හිතවත්කම්, ආදී භේද නොසලකා සියල්ලන්ට රැකියා ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා.

රැකියා ලබාදීමේදී ඉංග්‍රීසි, ගණිතය, විදේශ භාෂා, සෞන්දර්ය, විද්‍යාව, තාක්ෂණය, ආදී විෂයයන්ගෙන් උපාධි ලැබූ සියලු උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරියේ දී මෙරට පාසල් පද්ධතියි තුළ දැනට පවත්නා ගුරු හිඟය තුරන් කළ හැකිවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »