එංගලන්තයෙන් ගෙනා කසල කන්ටේනර් වලට එරෙහි අතුරු තහනම ඉවත් කිරීම ගැන තීන්දුව මාර්තු 04 වෙනිදා

2020-02-13 01:33:00       726
feature-top
එංගලන්තයෙන් මෙරටට ආනයනය කර මේ වන විට කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළද කලාපයේ රදවා ඇති එම කසළ කන්ටේනර් නැවත එංගලන්තයටම ප්‍රතිඅපනය කිරීමට දෙරටේ බලධාරීන් මේ වන විට සාකච්ඡා කරන බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

මෙම කන්ටේනර් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය එම ප්‍රතිඅපන ක්‍රියාවලිය සදහා බාධාකාරී විය හැකි බවට එංගලන්ත බළධාරීන් පවසා ඇති බවයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී සිටියේ.

ඒ අනුව එම අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළිකසල අඩංගු කන්ටේනර් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීන්දුව මාර්තු මස 4 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නා.

පරිසර යුක්ති කේන්‍ද්‍රය විසින් ගොණු කළ රිට් පෙත්සමපෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එක්සත් රාජධානියේ සිට ආනයනය කරන ලද රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල අඩංගු බහලුම් සිය ගණනක් මෙරට ගබඩා කර ඇති බවත් ඒ මගින් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට ඉතා අයහපත් ලෙසට බලපෑම් සිදු විය හැකි බවට පෙත්සම්කරු පවසා සිටියි.

මෙම කැළි කසල මෙරටට ආනයනය කිරීම නීති විරෝධී බවත් ඒවා ගෙන්වූ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට බලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටියි.

 දැනට ආනයනය කොට තිබෙන රෝහල් අපද්‍රව්‍ය සා කැළි කසල වෙනත් ස්ථාන වලට බැහැර කිරීමෙන් වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියි.

(under the courtesy of nethnews.lk news web)

More News »