සජිත්ගෙන් රැකියා ගත් පිරිස ‘ගෝඨාට හොඳ කියා’ නලීන්ට හූ කියා පන්නයි

2020-02-12 09:58:00       740
feature-top
නිවාස සංවර්ධන අධිකාරියේ සේවය අහිමි වූවන්ගේ සංගමය පුරාවිද්‍යා සහායක නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුව දෙවන දිනටත් ඊයේ (11 වැනිදා) විරෝධතාවයේ නිරත වී සිටින ස්ථානයට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට විරෝධතාකරුවන් හූ කියමින් සිය විරෝධය දැක්වූහ. ගාලු මුවදොර විරෝධතාකරුවන්ට වෙන්කර තිබෙන ස්ථානයේ මෙම විරෝධතාවය පැවැත්විණි.

මාර්ගය හරස්කර විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය අවට නොසන්සුන් තත්ත්වයක්ද ඊයේ (11 වැනිදා) උද්ගත විය.

පොලිසිය විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විරෝධතාකරුවන් හමුවට පැමිණ කියා සිටියේ විරෝධතාකරුවන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන බවයි.

ජනාධිපති මේ ස්ථානයට ඇවිත් උද්ඝෝෂණයේ නිරත සහෝදරයන්ට කිව්වා එතුමාගේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ පක්ෂ භේදයකින් තොරව සාධාරණය කරන බව. එහෙම කියලා තියෙද්දීත් තමයි ඔබ තමුන්නාන්සේලා අද දවසේත් මේ ස්ථානයේ රැඳී ඉන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා එතුමාගේ කාර්යාලයට කැඳවලා කිව්වා එතුමා වෙනුවෙන් පොරොන්දුවක් දෙන්න කියා. එතුමාගේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ අනිවාර්යයෙන්ම මෙම රැකියා ගැටලුව විසඳන බව. මේ දක්වා එතුමා කියපු සෑම දෙයක්ම අකුරටම ඉටුකර තිබෙනවා. ඔබ තමුන්නාන්සේලා මෙහෙම හිටියා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ යැයි පුද්ගලික ලේකම්වරයා පැවැසීය.

ජනාධිපතිවරයාගේ පොරොන්දුව විශ්වාස කරමින් විරෝධතාකරුවෝ පසුව විරෝධතාව අවසන් කළහ.

පසුව එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැමිණියේය.

මෙහිදී මන්ත්‍රීවරයා විරෝධතාකරුවන් හමුවේ කියා සිටියේ අපි එදත් ආවා. අදත් ආවා. වාසියකට නොවෙයි ආවේ යනුවෙනි.

මෙහිදී විරෝධතාකරුවෝ පැවැසුවේ.

ඔයා ආවා නම් කරුණාකරලා යන්න. කොළඹ කාමරේ හදලා දුන්නා අපේ සල්ලි වලින්. රජයෙන් සතපහක්වත් දුන්නේ නෑ. අන්තිමට නායකත්වයේ පෙරේත කමට අපි පාවලා දුන්නා. අන්තිමට අපිට මෙහෙම දුක් විදින්න වුණේ සජිත්ගේ වරදින්. නායකත්ව පොරයට නටලා නටලා අන්තිමට ඒකත් නැති වුණා යනුවෙන් මෙහිදී විරෝධතාකරුවන් මන්ත්‍රීවරයාට හූ කියූහ.

More News »