චීනයේ නගර රැසක් වසා දමයි : තීරණාත්මක තීන්දුවක් ගන්න සෞඛ්‍ය සංවිධානය රැස්වෙයි

2020-01-23 05:07:00       868
feature-top
චීනයේ පැතිරෙමින් තිබෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට Huanggang නගරයේ ජනතාවට ඉන් පිටව යාම තහනම් කරමින් නියෝගයක් පනවා තිබෙනවා. ඊට අමතරව  Ezhou නගරය විසින් සිය දුම්රිය සේවාවන් නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් තම නගරයට ඇතුල්වීම වළක්වාලීමේ අරමුණින් බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

නව කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් මේ වන පුද්ගලයින් 17 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 500කට අධික බවයි.

මේ වන විට චීන බලධාරීන් විසින් නව කොරෝනා වෛරසය පැතිරීයාම ආරම්භ වූ උහාන් ප්‍රාන්තයේ ජිවත් වන ජනතාවට ඉන් පිටතට යෑම සපුරා තහනම් කර තිබෙනවා. උහාන් ප්‍රාන්තයේ මිලියන 11ක පමණ ජනතාව ජිවත් වනවා.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි රැස්වීමක් කැඳවනු ලැබුවා. එහිදී චීනය විසින් ලබා දී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් සෑහීමට පත්වන බවත් මේ සම්බන්ධයෙන් අද දිනයේදී තව දුරටත් සාකච්ජා කොට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර සිටියා.

මේ වන විට තායිලන්තය, දකුණු කොරියාව, අමෙරිකාව, තායිවානය, ජපානය ඇතුළු රටවල් කිහිපයකින් මෙම වෛරසයට ගොදුරුවූ රෝගීන් වාර්තාවී ඇත. මේ අතර හොංකොං නගරයෙන් ද කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් දෙදෙනෙක් වාර්තාවී ඇත.


(under the courtesy of nethnews.lk news web)

More News »