නවක වදය නිසා සරසවියෙන් ඉවත්වූ සිසුන්ට යලි සරසවි වරම්

2020-01-18 03:40:00       726
feature-top
නවක වදය හේතුවෙන් වින්දිතභාවයට පත්ව සිටින සරසවි සිසු සිසුවියන්ට සහන සැලසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුප් පත් කොට ඇත. ඊට අමතරව එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසුරිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අධිපති මහාචාර්ය මාගම්මන ප්‍රඥානන්ද හිමියන්, ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂක ආචාර්ය බෙනට් ශාන්ත ප්‍රනාන්දු හිමිපාණන්, ඌව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ පත්කර ඇත.

මෙම කමිටුව විසින් මාස 03ක් ඇතුලත සරසවි නවක වදය හේතුවෙන් වින්දිතභාවයට පත්ව ඇති සරසවි සිසු සිසුවියන් සමබන්ධයෙන් සිය නිර්දේශ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.

සරසවි නවක වදය නිසා සිය අධ්‍යාපන කටයුතු අතහැර ගිය සිසු සිසුවියන්හට මේ හරහා යළි සිය සරසවි අධ්‍යාපනය සම්පුර්ණ කිරීමට ඉඩ අවකාශ ලබාදීම මෙම වැඩපිලිවලේ එක් පියවරක් වේ. එමෙන්ම මේ සඳහා ආසන්න වසර කිහිපයේදී නවක වදය නිසා සරසවි අත්හැර ගිය සිසු සිසුවියන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

2018 වසරේදී පමණක් නවක වදය හේතුවෙන් සරසවි හැර ගිය සිසුන් සංඛ්‍යාව 2000ක් බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ. මෙම නවක වදය හේතුවෙන් කායිකව හා මානසිකව වදහිංසාවන්ට ලක්වූ සිසු සිසුවියන් රැසක් රෝහල් ගතවී ඇත. ඊට අමතරව සියදිවි නසාගනු ලැබූ සිද්ධීන් සහ සදාකාලිකව ආබාධිත භාවයට පත්වූ සිසු සිසුවියන් සම්බන්ධයෙන් ද තොරතුරු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

සෑම වර්ෂයකම මෙරට සරසවි සඳහා සිසුන් 30,000ක් බඳවා ගැනීමට රජය අවශ්‍ය පියවර ගනිද්දී තවත් සිසුන් 20,000ක් පමණ පිරිසක් විදේශ රටවල පිහිටි සරසවි වල අධ්‍යාපනය සඳහා යන බවත් ඒ හේතුවෙන් රටට වාර්ෂිකව රුපියල් බිලියන 50 ක පමණ විදේශ විනිමයක් අහිමිවන බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.



(under the courtesy of nethnews.lk news web)

More News »