රාජිත සේනාරත්නට නොතිසි නිකුත් කරනවාද ? තීන්දුව ජනවාරි මස 21 වෙනිදා

2020-01-17 03:37:00       777
feature-top
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප්‍රතිශෝධන සම්බන්ධයෙන් ඔහුට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ  නියෝගය ජනවාරි මස 21 දා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද (17) දින නියම කළා.

මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රදානය කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.  

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කිරීමට හේතු වූයේ වග උත්තරකාර රාජිත සේනාරත්න මනත්‍රීවරයා සම්බන්ධයෙන් සාමන්‍ය අධිකරණ ක්‍රියාදාමයට පරිබාහිරව වෛද්‍ය වාර්තා නොකැදවා ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇති ආකාරය අභියෝගයට ලක්කිරීම බව පවසා සිටියා .

රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළ පසු ඔහු හදිසියේ අතුරුදන් වූ බවත් ඉන් පසුව ලංකා හොස්පිටල් නැමැති පුද්ගලික රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත් වී විමර්ශන නිළධාරීන්ට ඔහුගේ ප්‍රකාශයක් හෝ ලබා ගැනීමේ අවස්ථාව මගහැරිය බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කිසිදු අවස්ථාවකදී වෛද්‍ය වාර්තාවක් සැකකරු සම්බන්ධයෙන් කැදවා නොමැති බවත් එය සාමන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට පරිබාහිර ක්‍රියාවක් බව පවසා සිටියා.

තවද පෙර වැරැදි ඇති පුද්ගලයන් දෙදෙනකු යොදා ගෙන මෙම මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළ අසත්‍ය තොරතුරු හේතුවෙන් එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් කර ඇති නිසා ජනාධිපතිවරණ මැතිවරණ පනත යටතට ගැනෙන වැරැදි ද කර ඇති බවයි ඔහු පවසා සිටියේ.

මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමට රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා උපදෙස් දී ඇති බවද ,මෙහිදී දිලීප පීරිස් මහතා පවසා සිටියා.
 
රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පවසා සිටියේ තම සේවාදායකයාට එරෙහිව ඇති සියලු චෝදනා ඇප දිය හැකි වරදවල් බවත් ඔහු මුල සිට අධිකරණ ක්‍රියාවලියට සහය දක්වා ඇති බව පවසා සිටියා.

පුද්ගලික රෝහල් සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වැරැදි ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය වෙනම ක්‍රියාදාමයක් බවත් ප්‍රතිශෝධන පෙත්සමට අදාළ වන්නෙ ඇප පනත අනුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇද්ද යන්න සලකා බැලීම බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා .

රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අද  දින අධිකරණය හමුවේ පෙනී සිටිනු ලැබුවා.

පසුගිය දෙසැම්බර් මස 30 වෙනිදා රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය දෝෂ සහිත බව පවසමින් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා ඇප මත මුදාහැරීමට කළ නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා ඉල්ලා ඇත .


(under the courtesy of nethnews.lk news web)

More News »