පාකිස්තාන වැසියන්ගේ සිහින වැස්සයි අඳුරයි බොඳ කරයි

2019-12-13 11:33:00       780
feature-top
හිරු එළිය පතිත නොවීම හේතුවෙන් ක්‍රීඩාවට අවශ්‍ය ආලෝක තත්ත්වය ලබා ගැනීම උදෙසා විදුලි ආලෝක ධාරා මැද දෙවැනි දිනයේ තරගය ආරම්භ වුවද වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනට අවස්ථා දෙකකදීම දැඩි බාධා ගෙන දුන්නේය.

වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භවී පැවැත්වෙන පළමු තරගය දැක බලා ගැනීමට මුලු පාකිස්තානයම උනන්දුවෙන් පසු වුවද ඒ සියලු අපේක්ෂා බිඳ දමමින් තරගයට මෙලෙස බාධා ඇතිවීම අවාසනාවන්ත තත්ත්වයකි.

රාවල්පින්ඩි නුවර පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ කඩුලු 6කට ලකුණු 263ක් ලබා සිටින අතර ඊයේ දිනයේ යැවීමට හැකි වුයේ ඕවර් 18. 2ක් පමණි. තරගය නතරකරද්දී ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 72ක් හා දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 2ක් ලබා සිටියහ.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු අර්ධයේදී පැය 3යි මිනිත්තු 20ක් පමණ අපතේ ගිය අතර පස්වරු 1.45ට යළි ආරම්භවී ඕවර් 10.3ක් යැවීමෙන් පසු යළිත් ක්‍රීඩා පිටිය අඳුරු ආලෝකයෙන් බර විය. මේ තත්ත්වය අනුව තවදුරටත් ක්‍රීඩා කළ නොහැකි බව තීරණය කළ විනිසුරුවෝ පස්වරු 2. 31ක වෙද්දී දෙවැනි දිනය නිමා කිරීමට තීරණය කළහ.

ඊයේ ක්‍රීඩාකළ මිනිත්තු 82ක් වැනි සීමිත කාලය අතරතුර නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමිවී ගිය අතර නියම ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ධනංජය ද සිල්වා තම ටෙස්ට් දිවියේ 6වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූවේය. ධනංජය පන්දු 131කදී හතරේ 11ක් එල්ලකළ අතර නිරෝෂන් දික්වැල්ල සමග 6වැනි කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

පෙරේදා පළමු දිනයේදී තරගය නතරකරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 202ක් වූ අතර ධනංජය ද සිල්වා ලකුණු 38ක් හා දික්වැල්ල ලකුණු 11ක් වාර්තා කොට නොදැවී සිටියහ.

ඉනිමේ 80වැනි ඕවර්යේදී පාකිස්තානය නව පන්දුව ලබාගත් අතර 84වැනි ඕවරයේදී වමත් වේග පන්දු යවන ෂාහේන් ෂා වම් ඉන්නට පිටතින් එවූ පන්දුවකට අනවශ්‍ය පහරකට ගිය දික්වැල්ලගේ පිත්තේ කොනක වැදුණ පන්දුව ‘ගලී‘ පෙදෙසේ පන්දු රකිමින් සිටි බාබර් අසාම් වෙතට උඩ පන්දුවක් ලෙස පැමිණීමෙන් දික්වැල්ලගේ 63වැනි ටෙස්ට් ඉනිම ලකුණු 33කින් නිමාවිය. ඔහු පන්දු 63කට මුහුණදී සිටි අතර හතරේ පහර 4ක් ඉනිමට එක් කළේය.

දිනය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට නිරෝෂන් දික්වැල්ල පැමිණී අතර ලකුණු 300කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම කණ්ඩායමේ ඉලක්කය බව හෙතෙම සඳහන් කළේය.

“ අප යම් සැලැස්මක් අනුව මේ තරගයට ක්‍රීඩා කරන්නේ. ලකුණු 300කට වඩා වැඩියෙන් පළමු ඉනිමේ ලබාගෙන පීඩනයක් එල්ල කිරීම අපේ අරමුණයි. මොකද පාකිස්තානයේ වේග පන්දු යවන්නන් 4ක් ඉන්නවා. ඔවුන් පිතිකරණයේදී අගින් පැමිණෙන අය. දිල්රුවන්ගේ දඟ පන්දුවත් අනෙක් පන්දු යවන්නන්ගේ ඉලක්කයට පන්දු යැවීමත් අනුව අපට යම් දෙයක් මේ තරගයේ කළ හැකියි. වර්ෂාව නිසා හොඳ තරගයකට බාධා ඇති වෙනවා“ දික්වැල්ල පැවැසීය.

More News »