ස්විස් තානාපති සේවිකාව පැහැර ගැනීමේ කොළඹ 07 කිසිදු CCTV සටහනක නෑ.. අසද්ද බොරුවක් බව හෙලිවේ..

2019-12-05 03:10:00       884
feature-top
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමට ලක් වූ බව කියන කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ සවිකර තිබූ සියලූම සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කළ ද එවැනි සිදුවීමකට අදාළ දර්ශන කිසිවක් සටහන්ව නොතිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටස් ෆ‍්‍රැන්සිස් නමැති දෙමළ ජාතික කාන්තාව පැහැර ගනු ලැබුවේ කොළඹ කුරුඳුවත්ත ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අසලදී බවට වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබුණේ තානාපති කාර්යාල නිලධාරියකු විසිනි.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පැහැර ගැනීම සිදු වූ බව කියන ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අවට ප‍්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, නිවාස, වෙළෙඳසල් සහ මහාමාර්ගයේ සවිකර තිබූ සියලූම සී.සී.ටී.වී. කැමරා දැඩි පරීක්‍ෂාවකට ලක් කර තිබිණි.

එහෙත් මෙවැනි පැහැර ගැනීමකට අදාළ දර්ශන කිසිවක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අසමත් වී ඇත.

මෙම පැහැර ගැනීමට ලක් වූ බව කියන තානාපති කාර්යාලයීය නිලධාරිනියගෙන් ප‍්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක නිරත වුවද ඇය ඒ සඳහා ඉදිරිපත් වී නැත.

මෙම කාන්තාවගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මියගෙන් පෙරේදා (3 දා) ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය මෙම කාන්තාව විදේශගතවීම ලබන 09 වැනිදා දක්වා වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර එදිනට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ද නියෝග කර ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජකාරි කළ මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ලිංගික හිංසනයක් කර පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා නමැත්තා රටින් පලායෑමට අදාළ තොරතුරු විමසූ බවට වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබුණේ ඉකුත් 27 වැනිදා ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
(under the courtesy of lankacnews.com news web)

More News »