කොළඹ නගරයේ මාර්ග තදබදයට විසදුම් දෙන්න : ඇමතිගෙන් බලධාරීන්ට නියෝගයක්

2019-12-03 02:37:00       658
feature-top
වර්තමානයේ දැඩි ගැටළුවක්ව පවතින මාර්ග තදබදයට කඩිනමින් විසඳුම් ලබා දී මහජනයා පීඩාවට පත්වීම වැළැක්විය යුතු බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා “මාර්ග තදබදයට වඩා සාර්ථක විසඳුම ඇත්තේ ප‍්‍රධාන මාර්ගවලට ඇතුළු වන වාහන සංගණනය කර ඒ අනුව මාර්ග පද්ධතිවල ඇති මාර්ග සංඥා ආලෝක පද්ධති යාවත්කාලීන කිරීම තුළින් බවයි. කොළඹ නගරයේ වාහන තදබදය වැඩිපුරම දක්නට ලැබෙන්නේ පෙරවරුවේ සහ සවස්වරුවේ දී යි. එමනිසා කොළඹ නගරයට ඇතුළු වන ප‍්‍රධාන මාර්ගවල ඇති මාර්ග සංඥා ආලෝක පද්ධති කඩිනමින් යාවත්කාලීන කළ යුතු වෙනවා. එමෙන්ම අධිවේගී මාර්ගවලට පිවිසෙන මාර්ග ආශ‍්‍රිතව ඇති ආලෝක සංඥා පද්ධතිය මාර්ගයට ඇතුළු වන වාහන ප‍්‍රමාණයට අනුකූල වන ලෙස යාවත්කාලීන කළ යුතුයි. එමනිසා ඉදිරියේ දී ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු යැයි" අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයෙහි පැවති විශේෂ සාකච්ඡාවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට මාර්ග තදබදය හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 150 කට ආසන්න ඉන්ධන හා මිනිස් ශ්‍ර‍මය නාස්ති වී යයි. එම හේතුවෙන් මෙම හානිදායක තත්ත්වයන් අවම කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ගතහැකි කඩිනම් පියවර ගනිමින් නිසි පරිදි එම කටයුතු සිදුකරන්නැයි මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව මාර්ග තදබදයට සාර්ථක විසඳුමක් ලෙස ප්‍ර‍ධාන මාර්ග තුළට ඇතුළු වන වාහන සංඝනනය කොට ප්‍ර‍ධාන මාර්ගයන්හි පවත්නා මාර්ග සංඥා පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා බලධාරීන් හට උපදෙස් ලබාදුන් අතර මාර්ග තදබදය හේතුවෙන් මහජනයාගේ එදිනෙදා ජීවන කටයුතු අඩාල වනවාක් මෙන්ම ප්‍රයෝජනයට ගත හැකි කාලය නිකරුණේ විනාශ වී යයි. ඒ අනුව එම තත්ත්වයන් අවම කරගැනීමට සහ කාලය නාස්ති වීම වළකා උපරිම ප්‍ර‍තිඵල අත්කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා මාර්ග හා මහාමාර්ග අමාත්‍යංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නා.


(under the courtesy of nethnews.lk news web)

More News »