දින දෙකකින් පසු විකල්ප තීරණයකට සජිත් පිළ සූදානම්

2019-12-03 01:09:00       881
feature-top
විපක්‍ෂ නායක ධුරය සහ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිළිබද ඉදිරි දින දෙක තුළ තීරණයක් නොගතහොත් විකල්ප කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වන පාර්ශ්වය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ ඊයේ (02) රාති‍්‍රයේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් මේ වනවිට පක්‍ෂය තුළ එකඟතාවක් ඇති බවයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ පැවසුවේ.

විපක්‍ෂ නායක ධුරය හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට බොහෝ දුරට හිමිවනු ඇති බව මෙම සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් ප‍්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන බ‍්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය බෞද්ධ පදනම දිනා ගැනීමට මේ වනවිට දරණ උත්සාහය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළයුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය පළමුව පක්‍ෂය තුළ මතවාදී වෙනසක් සිදුකළ යුතු බවයි.

පක්‍ෂයේ යාන්ත‍්‍රණය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමටයි එක්සත් ජාතික පක්‍ෂය සැලසුම් කර ඇත්තේ.


(under the courtesy of nethnews.lk news web)

More News »