පොලිස් සේවයේ නව පත්කිරීම් සහ ස්ථාන මාරු දහසයක්

2019-11-22 08:47:00       698
feature-top
පොලිස් සේවයේ නව පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් කිහිපයක් සිදුකර තිබෙනවා. මෙම පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු සදහායි.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ලබාදී ඇති ස්ථාන මාරුව ද මීට අයත්.

පුරප්පාඩු වූ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයට පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ඩබ්ලිව් තිලකරත්න ස්ථාන මාරු කර තිබෙනවා.

මධ්‍යම පළාත සහ ඌව පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික‍්‍රමසිංහ, ඊට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණය කිරීම සදහා ද අනියුක්ත කර ඇති බවයි පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජගත් පලිහක්කාර, නිමල් පෙරේරා, විජිත ගුණරත්න, එල් ජී කේ එස් පීරිස්, එල් එස් පතිනායක, ඩබ්ලිව් එම් එම් වික‍්‍රමසිංහ, කේ එන් ජේ වෙදසිංහ සහ එල් බී එස් පී සදුන්ගහවත්ත ස්ථාන මාරු ලද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වනවා.

නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර පොලිස් මූලස්ථානයේ සිට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ස්ථාන මාරු කර ඇත්තේ කළුතර දිසාවේ සිට පොලිස් පරිසර ආරක්‍ෂණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.

නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මාතර හා තංගල්ල දිසාවේ සිට කළුතර දිසාවට ස්ථාන මාරු කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති එල් ජී කේ එස් පීරිස් පොලිස් පරිපාලන, දුක්ගැනිවිලි, විසදුම් අධිකාරී යන දැනට සේවයේ යෙදී සිටින දිසාවට අමතරව පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ලෙසද පත්කර ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් ප‍්‍රවාහන සහ සංදේශ දිසාවට අනියුක්තව සිටින නියෝජ්‍ය පොලිස්පති එල් එස් පතිනායක රථ වාහන පාලන හා මාර්ග ආරක්‍ෂණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්‍ෂණ දිසාවට අනියුක්තව සිටින ඩබ්ලිව් එම් එම් වික‍්‍රමසිංහ පොලිස් ප‍්‍රවාහන හා සංදේශ දිසාවටද ස්ථාන මාරු කර තිබෙනවා.

ගාල්ල දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන කේ එන් ජේ වෙදසිංහ ඊට අමතරව මාතර හා තංගල්ල දිසාවේ වැඩ බැලීම සදහාද පත්කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

උතුරුමැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වන එල් පී එස් පී සදුන්ගහවත්ත ඊට අමතරව වන්නි දිසාවේ වැඩබැලීම සදහාද පත් කර තිබෙනවා.

ස්ථාන මාරුවීම් ලද සහකාර පොලිස් අධිකාරීවරුන් වන්නේ ආර් ඒ ආර් එන් රාජපක්‍ෂ, ඩී එස් කේ පුෂ්ප කුමාර, පී ටී සිසිර, ඩබ්ලිව් වී ඩී ජී සමන්තිලක සහ ඩබ්ලිව් පී වී පෙරේරා යන අයයි.  

සහකාර පොලිස් අධිකාරී ආර් ඒ ආර් එන් රාජපක්‍ෂ කැළණිය කොට්ඨාසයේ සිට ජනාධිපති ආරක්‍ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මෙම සියළු ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේද එකඟතාව මතයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »