පූජිත් ජයසුන්දරට මූල්‍ය ආයතන 05ක ගනුදෙනු

2019-11-19 10:55:00       723
feature-top
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර දෙසැම්බර් මස 03 වැනිදා තෙක් තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා අද බන්ධනාගාර නිළධාරීන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත ඉදිරිපත් කරන ලදි.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳ ආයතන 73 ක් අතරින් ලබාගත් වාර්තා අනුව හේමසිරි ප්‍රනාන්දු සතුව කිසිඳු ගිණුමක් පවත්වාගෙන ගොස් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේවෙතත් පූජිත් ජයසුන්දර විසින් ආයතන 73 අතරින් මූල්‍ය ආයතන පහක ගනුදෙනු පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සැකකරුවන්ට මීට පෙර ඇප මත මුදාහැරීමට කළ නියෝගය අත්හිටුවා ඔවුන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය ඔක්තෝබර් මස 09 වැනිදා නියෝග කරන ලදි.

සැකකරුවන් දෙදෙනාට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා තහවුරු කර ඇති අවස්ථාවේදී ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය නොමැති බවත් එම බලය ඇත්තේ මහාධිකරණයට බව මහාධිකරණය අවධාරණය කර සිටියා.

ඒ අනුව සැකකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය දෝෂ සහිත බවට මහාධිකරණය තීන්දු කර තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »