ඡන්ද පෙට්ටි අද ඡන්ද මධ්‍යස්ථාන වෙත

2019-11-15 08:58:00       692
feature-top
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සදහා ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (15) සිදු කෙරෙනවා. රටපුරා පිහිටුවා ඇති මුළු ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක්. එම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.

" අද උදැසන සිට ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි සහ අවශ්‍ය ලිපි සහ අවශ්‍ය සියලුම ද්‍රවයන් බෙදා හැරීම සිදුකරන ලබන අතරම රාජකාරි සඳහා යොදවා ඇති නිලධාරීන් ද දහවල් 12.00 සිට අදාළ ජන්ද මධ්‍යස්ථාන වෙත සිය රාජකාරී සඳහා වාර්තා කරන බවයි" වැඩිදුරටත් කරුණු දක්වමින් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ.

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමෙන් පසු පස්වරුවේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද විමසීම සදහා වූ පෙරහුරුවක්ද සිදු කෙරෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සදහා මෙවර කාඞ්බෝඞ්වලින් සකස් කළ විශේෂිත ආකාරයේ ඡන්ද පෙට්ටිද යොදා ගැනෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ.

මෙහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ "සාම්ප්‍රදායික ලී ජන්ද පෙට්ටියකට දැමිය හැක්කේ උපරිම ජන්ද පත්‍රිකා ප්‍රමාණය 415ක් බවයි. ජන්ද 400ට අඩු ජන්ද මධ්‍යස්ථාන ඇත්තේ 349ක් බවත් අනෙක් ජන්ද මධ්‍යස්ථාන සඳහා අවම වශයෙන් ලී ජන්ද පෙට්ටි 02 බැගින් සැපයීමට සිදුවන නිසා ඒ වෙනුවට වෙනත් ජන්ද පෙට්ටියක් ආදේශ කිරීමට මැතිවරණ කොමිසන් සභාව අවශ්‍ය පියවර ගත් බව කියා සිටියා.

එහිදී ප්ලාස්ටික් වලින් නිපදනවන විශේෂිත ජන්ද පෙට්ටියක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමුවූ බවත් එය නිෂ්පාදනය කරන විදෙස් සමාගමෙන් සිදුකළ විමසීමකදී ජන්ද පෙට්ටියක් සඳහා රුපියල් 8000ක් පමණ වැය වන බවට ප්‍රකාශ කළ බවත් ඒ හේතුවෙන් අවශ්‍යතාවය ඇති ජන්ද පෙට්ටි ගෙන්වීමට ඇමෙරිකානු ඩොලර් 350,000ක් වැයවන බැවින් එම අදහස ඉවත් කර ගත් බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

එමෙන්ම ලංකාවේ ආයතන 04 කින්ද ජන්ද පෙට්ටි වෙනුවට ආදේශක වශයෙන් යොදා ගත හැකි ප්ලාස්ටික් පෙට්ටි සම්බන්ධයෙන් මිලගණන් සොයා බැලු බවත් ඒවායේ අවම මිල වුයේ රුපියල් 2000-3000ත් අතර වීම නිසා වතුරෙන් හානි නොවන ලෙස කාඩ්බෝඩ් වලින් සෑදු විශේෂිත ජන්ද පෙට්ටියක් භාවිතා කිරීමට තීරණය කළා යැයි" ඒ පිළිබඳව අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

ඇතැම් දිස්ත්‍රික්කවල පමණක් තෝරාගත් ඡන්ද මධ්‍යස්ථාන සදහා කලින් භාවිත කළ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටිද යොදා ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.

යාපනය, වන්නි, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්වල ජන්ද 400 සිට 800ට වැඩි ජන්ද මධස්ථාන තිබෙනවා. ඒ සඳහා මිට පෙර අපි මෙරටට ගෙන්වූ ප්ලාස්ටික් ජන්ද පෙට්ටි 3000ක් තිබෙනවා. ජන්ද 800 ට වැඩි ජන්ද තිබෙන මධ්‍යස්ථාන වෙත මැතිවරණ කොමිසම සතු එම ප්ලාස්ටික් පෙට්ටි 3000 ලබාදීම සිදුකරනවා. එමෙන්ම ජන්ද 800 සිට 1600 ට වැඩි ජන්ද තිබෙන ජන්ද මධස්ථාන වෙත කාඩ්බෝඩ් වලින් සෑදු විශේෂිත මධ්‍යම ප්‍රමාණයේ ජන්ද පෙට්ටියක් බැගින් ලබාදීම සිදුකරනවා. ජන්ද 1600ට වැඩි ජන්ද තිබෙන ස්ථාන සඳහා මදක් ප්‍රමාණයෙන් විශාල විශේෂිත කාඩ්බෝඩ් ජන්ද පෙට්ටියක් බැගින් ලබාදීමට කටයුතු යොදා තිබෙන බවයි මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම ජන්ද 1600ට වැඩි ස්ථාන සඳහා සහයකයින් දෙදෙනෙක් ලබාදෙන බවත් ජන්ද 800 සිට 1600 දක්වා ඇති ජන්ද මධ්‍යස්ථාන සඳහා අදාළ ග්‍රාම නිලධාරිවරයාට සහයකයෙක් ලබාදෙන ලෙසට දැනුම් දී ඇති බවද සභාපතිවරයා කියා සිටියා.

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේදී ඊට විශේෂ ආරක්‍ෂාවක්ද සැපයෙනවා. සෑම ඡන්ද පෙට්ටියකටම අවිගත් එක් නිලධාරියෙකු බැගින් වන පරිදි රාජකාරී සදහා පොලිස් නිලධාරීන් අනියුක්ත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඡන්ද මධ්‍යස්ථාන සදහාද විශේෂ ආරක්‍ෂාවක් සැපයෙනවා. මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
රුවන් ගුණසේකර.

දිවයින පුරා පිහිටි ජන්ද මධ්‍යස්ථාන සඳහා 12,845 සඳහා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදනෙක් බැගින් යොදා තිබෙනවා. බහුතරයක් ජන්ද මධ්‍යස්ථාන සඳහා පිරිමි පොලිස් නිලධාරින්ම යොදවා ඇති බවත් ඇතැම් ජන්ද මධ්‍යස්ථාන සඳහා එක් කාන්තා පොලිස් නිලධාරිනියක් සහ පිරිමි පොලිස් නිලධාරියෙක් බැගින් අනියුක්ත කර ඇති බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කලේ. එමෙන්ම ජන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 25,712ක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණ වන පරිදි ජංගම මුර සේවාද ක්‍රියාත්මක කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සදහා පහසුකම් සැපයීම වෙනුවෙන් රටපුරා සියළු රජයේ පාසල් අද නිවාඩු ලබාදී තිබෙනවා. ඡන්ද විමසීම හෙට සිදු කිරීමට නියමිතයි. හෙට සහ අනිද්දා සියළු සුරාසැල්ද වසා තැබෙනු ඇති.
(under the courtesy of nethnews.lk news web)

More News »