ජනපති අපේක්‍ෂකයන් එකම වේදිකාවකට ගෙනආ වැඩසටහනට සහභාගි නොවූ හේතුව ගෝඨාභය හෙළි කරයි

2019-10-15 03:29:00       759
feature-top
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වුණා. ඒ, ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසු පළමු වරටයි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න ගණනාවකට ඔහු පිළිතුරු ලබාදුන්නා. ජනාධිපති අපේක්‍ෂකයන් එකම වේදිකාවකට ගෙනඑමින් ඉකුත්දා පැවැත්වූ වැඩසටහනට සහභාගි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්නයක් යොමු කළා.

මගේ ප්‍රතිපත්ති මාලාව ගැන මම ඊට පෙර අවස්ථා ගණනාවකදී එලි දැක්වුවා. ප්‍රතිවිරුද්ධ මතවාද දරණ 10 දෙනෙක් එක තැනකට ගෙනල්ලා තව කෙනෙක්ව තනි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම වියත්මග සම්මන්ත්‍රණය හරහා වෘත්තියවේදීන්, ගොවියන්, ධිවර ප්‍රජාව ඇතුළු රටේ සෑම අංශයක්ම මම මුණගැසුනා. මම කරන දේ ගැන සහ ඔවුන්ගේ ගැටළු ගැන මම හොයා බැලුවා. මට ඕන වැඩ කරන්න. මට වාද විවාද කර කර ඉන්න අවශ්‍ය නැහැ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.

2015 වර්ෂයේදී මෙරට රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ඇතැම් ගිවිසුම් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා. එහිදී ඔහු ප්‍රකාශ කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යනවද යන්න ගැනයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කලේ තමන් පෞද්ගලිකව එම ගිවිසුම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නවා වගේම පක්ෂයක් වශයෙන් එම ගිවිසුම ප්‍රතික්ෂේප කරන බවයි. මන්ද වත්මන් රජයේ අදහස් සහ මතවාදයන් සහ සිය පක්ෂයේ මතවාදය අතර ඇත්තේ දැඩි වෙනස්කමක් බවයි ඔහු සඳහන් කලේ. එමෙන්ම තමන් ජනාධිපතිධුරයට පත්වුවහොත් සිය රජය ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කලේ.

තමන් ජනාධිපතිවුවහොත් ඊට පසුදිනම සිරකර සිටින යුධ හමුදාවේ සෙබළුන්ව නිදහස් කරන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදියෙක් කරුණු විමසා සිටියා.

එයට පිලිතුරු දෙමින් ඔහු සඳහන් කලේ බොහෝ යුධ හමුදා සෙබළුන් ඇතුළු අනෙක් පිරිස් සිරභාරයට පත් කර ඇත්තේ දේශපාලන උවමනාවන් මත බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ එවැනි කරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණ නොවන බවත් එය අරලියගහ මන්දිරයේදී ඇති කරගත් දේවල් බවයි. බහුතරයක් යුධ හමුදාවේ සෙබළුන් සිරභාරයේ සිටින්නේ අධිකරණය තුල නිසි දඩුවමකට යටත් නොවී බවයි කියා සිටියේ.

යුධ සමයේදී යුධ හමුදාවට භාරවූ උතුරේ වැසියන්ට සිදුවුයේ කුමක්ද කියා ඔවුන්ගේ ඥාතින් විමසන බවත්, ඔවුන්ට ඇත්ත වශයෙන්ම සිදුවුයේ කුමක්ද කියා මෙහිදී ඉන්දීය මාධ්‍යවේදිනියක් විමසා සිටියා.

එහිදී එයට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ හමුදාවට භාරවූ තිස් දහසකට ආසන්න පිරිසක් භාරවූ බවත් ඔවුන්ට නිසි පුනුරුත්ථාපනය කිරීමක් සිදුකර යලි සමාජ ගත කරනු ලැබූ බවයි. එහිදී ලොව කිසිදු රටක සිදුනොකල ආකාරයේ පුනුරුත්ථාපන වැඩසටහනක් කිරීමට රජයට හැකි බවයි.

මෙහිදී එම මාධ්‍යවේදිනිය යලිත් වරක් ප්‍රශ්නයක් නගමින් අසා සිටියේ යුධ හමුදාවට භාරවූ පිරිස හැර අතුරුදහන්වූ පිරිස් සම්බන්ධයෙන් උතුරේ වැසියන් ප්‍රශ්න කරමින් සිටින බවයි.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දෙමින් කියා සිටියේ හමුදාවට භාරදුන් පිරිස් යලි පුනුරුත්ථාපනය කිරීමෙන් පසු මුදා හැරිය බවත් අතුරුදහන් කළා යැයි සිදුකරන ප්‍රකාශයන් චෝදනාවන් පමණක් බවයි. මන්ද ඇතිවූ යුද්ධයේදී හාරදහසකට ආසන්න ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් අතුරුදහන්වී ඇති බවත් යුද්ධයක් පවතින අවස්ථාවලදී ඇතැම් විට එම නිලධාරීන්ගේ සිරුරූ ලබා ගැනීමට නොහැකිවූ අවස්ථා තමන් සියැසින් දැක ඇති බවද කියා සිටියා.

මේ දක්වා දෙමළ ජාතික සන්ධානයෙන් හෝ සිය පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මේ දක්වා ආරාධනාවක් සිදුවී නොමැති බවයි කියා සිටියේ.

ඉදිරියේදී ශ්‍රී ලංකාව විසින් ගෙවීමට තිබෙන ණය වාරික සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියා.

එහිදී එයට පිළිතුරු දෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ ණය දුන් රටවල් සමග සාකච්ජා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, එම ණය ගෙවීමේ කාලයක් ලබා ගනිමින් රටේ ඉදිරි සංවර්ධනය ඉදිරියට සිදුකරන්න පියවර ගන්නා බවයි කියා සිටියේ.

දැනට තමන්ට සහය දක්වන වතුකරයේ මෙන්ම උතුරේ දමිල දේශපාලකයින් වැඩි වශයෙන් සාකච්ජා කරනු ලැබුවේ එම ප්‍රදේශවල ජනතාව මුහුණදී ඇති ගැටළු ගැන සාකච්ජා කොට ඒවාට ලබා දුන් විසදුම් නිසා ඔවුන් තමන්ට සහය දැක්වීමට තීරණය කල බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »