නාවික හමුදා නිලධාරීන් 12ක් රක්ෂිත බන්ධනාගාරයට

2019-09-11 08:47:00       393
feature-top
ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තිරයේදී ධිවර යාත්‍රාවක සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට එම යාත්‍රාව නවත්වන ලෙස දන්වා වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පසුව ඔවුන්ට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන් නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් සහ සෙබළුන් 10 දෙනෙකු මේ මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා විසින් අද (10) නියෝග කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 28 වෙනිදා රාත්‍රියේ කුච්චවේලි මුහුදේ ගමන් කරමින් තිබු සැකකටයුතු ධිවර යාත්‍රාවක් නවත්වන ලෙසට රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක් විසින් අණ කර තිබෙනවා. මෙහිදී එම ධිවර යාත්‍රාවේ ගමන් කරමින් සිටි පිරිස පලා ගොස් ඇති අතර එහිදී නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිද්ධිය වූ දිනට පසුදින එනම් අගෝස්තු මස 29 වෙනිදා නාවික හමුදාවේ භට පිරිස් විසින් මෙම සැකකටයුතු ධිවර යාත්‍රාවේ ගමන් කළ බව කියන සැකකරුවන් තිදෙනෙක් උදැසන අත්අඩංගුවට ගෙන කුච්චවේලි පොලිසියට භාරදී තිබෙනවා. පසුව එදිනම දහවල් කාලයේදී එම ධිවර යාත්‍රාවේ ගමන් කළ බව  කියන අනෙක් සැකකරු තුවාල සහිතව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී ඇත.

මෙලෙස කුච්චවේලි පොලිසියට නාවික හමුදාව විසින් භාර දුන් සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත. එහිදී වරාය පොලිසිය විසින් තුවාල ලබා සිටි සැකකරු සහ අනෙක් සැකකරුවන් තිදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය විසින් නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් ගෙන් සහ සෙබළුන් 10 දෙනෙක් ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන මුදා හැරීමට කටයුතු කර ඇත.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර තුවාල ලබා රෝහල් ගත කර සිටි සැකකරුවන් සිව්දෙනා මහේස්ත්‍රාත්වරයා විසින් රෝහලට ගොස් නිරීක්ෂණයට භාජනය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

එහිදී රෝහල් ගත කර සිටි සැකකරුවන් සිව්දෙනා විසින් මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් සිදුකරමින් කියා ඇත්තේ තමන්ට නාවික හමුදාව විසින් වෙඩි තැබූ බවත් පසුව පහර දීම හේතුවෙන් තුවාල සිදුවූ බවයි.

ඒ අනුව සිද්ධියෙන් තුවාල ලබා සිටි සැකකරුවන් සිව්දෙනා ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස වරාය පොලිසියට නියෝග කරන ලදී.

පොලිසිය විසින් අද දින වැඩිදුර විමර්ශන ඇතුලත් වාර්තාවන් සහ අත්අඩංගුවට ගන්නා ලද නාවික හමුදා නිලධාරීන් දෙදෙනා සහ සෙබළුන් 10 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »