‘පුත ළඟ නොබලන්න – දුර බලන්න’..- මහින්ද පුතුන්ට උගන්වයි..

2019-08-26 09:06:00       700
feature-top
(2019 අගෝස්තු 24 වන දින නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ මහා සමුළුව අමතමින් ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත.)

මිත්‍රවරුනි,

මේ තරුණ හමුව ​ඉතාම වැදගත් එකක්. ඔබ ඉදිරියේ ඉන්නකොට මට දැනෙන්නේ මම ඉන්නේ රටේ අනාගතය ඉදිරියේ කියලයි. අද මෙතැන සිද්ධ වුණ සාකච්ඡා අනුව අපේ අනාගතය කොයි වගේ එකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.

මිත්‍රවරුනි,

මේ රටේ අනාගතය ඉදිරියේ හිටගෙන ඉන්නකොට මට අතීතයත් මතක් වෙනවා. මට මතකයි 1970 ශ්‍රී ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට පාර්ලිමේන්තුවට තේරුණ කාලේ. 1970 අපි පාර්ලිමේන්තුවට තේරිලා අවුරුද්දක් ඇතුළත 1971 කැරැල්ල ආරම්භ වුණා.  මම රස්සාව කරපු විද්‍යෝදය තමයි මේ කැරලිකාරයන්ගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් වුණෙත්. හැත්තෑ එකේ කැරැල්ලෙදි අපි දන්න තරුණ තරුණියෝ සෑහෙන පිරිසක් පොලිසියේ හමුදාවේ අත්අඩංගුවට පත් වුණා. ඒ අතරේ අපේ ආණ්ඩුවේ තරුණ මන්ත්‍රී වාසුත් හිටියා. මේ අයව මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගත්තාම බේරාගන්න මට අරලියගහ මන්දිරේ තරප්පු පෙළේ වාඩිවෙලා ඉන්නත් සිද්ධ වුණා.

ඊළඟට මට මතකයි 1989 වුණ දේවල්. ඇඹිලිපිටියේ ඉඳලා බටලන්ද දක්වා බොහොමයක් තැන්වල වධකාගාර තිබුණා. උසස් අධ්‍යාපනය ලබපු තරුණයෝ තමයි 1989 දී මරාදාන්න හෙව්වේ. මට මතකයි 1989 දී තංගල්ලෙ මරා දාපු වසන්තයි, ප්‍රසන්නයි කියන තරුණයෝ දෙන්නගෙ මළමිනී අරගෙන අපි පෙලපාලියේ ගියා. පළමුවැනි වතාවට ‘‘මානව හිමිකම්’’ කියන වචනෙ ප්‍රායෝගික භාවිතයට ගෙනාවේ එදා අපි තංගල්ලෙ ඉතිහාසයේ මුලින්ම හදපු මානව හිමිකම් කමිටුවලින්. එදා ඔබලා වාගෙ ලක්ෂ ගණනක් මරා දාපු තරුණයෝ තරුණියෝ වෙනුවෙන්, 1992 කොළඹ ඉඳන් පාද යාත්‍රාවක් කතරගමට යනකොට වැඩිපුරම පාර හේදුණේ අම්මලාගේ කඳුළුවලින්. මේ තරුණයෝ මතක තියාගන්න ඕනෑ, එදා තරුණයෝ මරාපු අයට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ ආණ්ඩුව කරන්න නායකයෙක්වත් මැති ඇමැතිවරුන් ඉතුරු වෙන්නේ නෑ.

කොළඹ විශ්වවිද්‍යාලයෙත් වධකාරයක් පවත්වාගෙන ගියා. අද මේ යූඑන්පී ආණ්ඩුවේ ඉන්න  ඇමැතිවරුන් ඒ විශ්වවිද්‍යාල වධකාගාරයේ එදා වධ වින්දා. ඒ වාගේම එදා වධකයෝ හැටියට තරුණයෝ  හොය හොයා මරාපු අය අද මේ ආණ්ඩුවෙම ඇමැතිවරු හැටියට ඉන්නවා.  වධකයෝයි, වධ විඳපු අයයි අද එකතු වෙලා. එදා තරුණයෝ  බේරාගත්තු අපි අද වද විඳිනවා. ඒක තමයි දේශපාලනේ.

අවුරුදු තිහක් මේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් තිබුණා. රටේ අනාගතය වෙනුවෙන් වියදම් කරන්න තිබුණ මුදල හැම සතයක්ම වසර තිහක් වියදම් කෙරුණේ යුද්දෙට. ඒ නිසා රැකියා උත්පාදනය කරන්න, ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න කොයි ආණ්ඩුවටත් බැරි වුණා. උතුරෙත්, දකුණෙත් දහස් ගණන් තරුණයන්ට ජීවත් වෙන්න තිබුණ අවස්ථාව යුද්දෙ නිසා නැති වුණා. ඒ නිසා අපි මේ රටේ තරුණයන්ට කළ ලොකුම සේවය තමයි අවුරුදු හතරක් තුළ යුද්දෙ අවසාන කළ එක.

වසර තිහක් මැරි මැරී ගිය තරුණ පරම්පරා ගණනාවක් මරණයෙන් මිදුනේ යුද්දෙ නතර කළ නිසා. ඒ  විතරක් නෙවෙයි ත්‍රස්තවාදයට සම්බන්ධ වුණ තරුණ තරුණියෝ දසදහස් ගණනින් මාස කීපයක් ඇතුළත පුනරුත්ථාපනය කරලා අපි සමාජයට භාර දුන්නා. ඒ තරුණයෝ ආරක්ෂා කරලා රැක ගන්න හිර ගෙදරට නෙවෙයි, සමාජයටයි අපි භාර දීලා තියෙන්නේ.

තරුණ දරුවනි!

මට මතකයි 2005 දී මම ජාතිය අමතලා කිව්වා අපි මුහුණ දීපු ප්‍රශ්න අනාගත පරපුරට භාර දෙන්නේ නෑ කියලා. එදා උපාධිධාරියට රැකියා තිබුණේ නෑ. අපි උපාධිධාරීන්ට රැකියා දෙන එක රජයේ වගකීමක් හැටියට භාර ගත්තා. 1948 ඉඳන් 2005 වෙනතුරු මේ රටේ රජයේ රැකියා කළේ ලක්ෂ 07 යි. 2015 වෙනකොට ඒ පිරිස ලක්ෂ පහළොව දක්වා ඉහළ දමලයි අපි ගෙදර ආවේ. නමුත් අද ආයෙත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ඇවිත්. දැන් දිනපතා රැකියා ඉල්ලන් ගිහින් කඳුළු ගෑස් කන පින්තූර ටෙලිවිෂන්වල පෙන්නනවා. නමුත්  ලක්ෂ හතකට ආණ්ඩුවේ රැකියා දුන්න අපිව පරාද කරන්න, යූඑන්පිය තරුණයන්ට දෙනවයි කියපු රැකියා දශලක්ෂය ගැන කවුරුවත් අහන්නේ නෑ.

මිත්‍රවරුනි!

අපිට එදාත් තරුණ ප්‍රශ්නවලට විසඳුමක් තිබුණා. කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ලැබුණ ගමන්ම මම කළේ හැකියාවට රැකියාවක් කියන සංකල්පය රටට ගෙනියන එක. තරුණයන්ට නිදහස් අධ්‍යාපනය විතරක් දීලා මදි. වෘත්තීය අධ්‍යාපනයත් දෙන්න ඕනෑ කියලා අපි එදා ඉඳන් හිතුවා. තරුණයන්ගේ හැකියාව දියුණු කරන්න ඕන. රටට ගැළපෙන වෘත්තීය අධ්‍යාපනයක් දෙන්න ඕනෑ කියලා අපි හිතුවා. ඒ විතරක් නෙවෙයි සාගර ආර්ථිකයක් ගැනත් අපි හිතුවා. වෙරළාරක්ෂක හමුදාවක් පිහිටවලා සාගරය රැක ගන්න වාගේම සාගරයෙන් සම්පත් ​ගොඩ අරගෙන ලංකා ආර්ථිකය නංවන්න ඕනෑ කියලා අපි හිතුවා. පළවෙනි වතාවට සාගර විශ්වවිද්‍යාලයක් පිහිටෙව්වා.රත්නපුරේ පතල් දිහා බලන විදියටම  අපි සාගරය දිහාත් බලන්න ඕනෑ. ඒ අනුව හිතලා අපි මේ රටේ තරුණයන්ට අලුත් ජීවිතයක් දෙන්න වැඩ කළා.

2005 දී අපි බලයට එනකොට මේ රටේ පරිගණක සාක්ෂතාව තිබුණේ සියයට පහයි. අපි රටේ ණැනසල මධ්‍යස්ථාන හැම තැනකම පිහිටෙව්වා. වේගයෙන් රට පරිගණක රැකියාවලට යොමු වුණා. දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් දාන්නෙත් පරිගණකයෙන්. දැන්ගම්වල තරුණයෝ තරුණියෝ පරිගණකයෙන් තමයි කැම්පස් රෙජිස්ටර් වෙන්නේ. අපි එදා ගෙදර ගියේ සියයට පහක් වුණ පරිගණක සාක්ෂරතාව සියයට පනහට නංවලා. නමුත් මේ ආණ්ඩුව ඒ මට්ටමට තරුණ සමාජය දියුණු කළ එක අවස්ථාවක් මට පෙන්වන්න.

නමුත් අපි 2005 ඉඳන් මේ රටේ නංවපු පරිගණක සාක්ෂරතාව යොදා ගත්තේ අපිව ගෙදර යවන්න. මිත්‍රවරුණි තරුණ දරුවනි! මේ තරුණයෝ අපේ රටේ තියෙන මේ දේශපාලන විපරීතය තේරුම් ගන්න ඕනෑ.

මම මතක් කරන්න ඕනෑ අනගාරික ධර්මපාලතුමාව. එතුමා 18 වැනි සියවසේදීත් මේ රටේ 21 වැනි ශතවර්ෂය ගැන හිතපු කෙනෙක්. එතුමා බුද්ධගයාව බේරා ගත්තා වගේම තවත් උතුම් වැඩක් කළා. ඒ තමයි බෞද්ධ පාසල් පිහිටවීම. ඒ විතරක් නෙවෙයි, ලාංකික දරුවන්ට  වෘත්තීය පුහුණුව දෙන පාසල් 52 කුත් පිහිටෙව්වා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම කර්මාන්ත හුරුවක් මේ රටේ දරුවන්ට දෙන්නයි එතුමා හිතුවේ.

 

නමුත් ඒ තරම් දුර දැකපු, එපමණ සේවයක් කරපු ධර්මපාලතුමාටත් එක්තරා පිරිසක් මේ රට එපා කෙරෙව්වා. එතුමා මියගියෙත් ඉන්දියාවේ.

ඊළඟට ඊ.ඒ. ගුණසිංහ. 1931 දී මේ රටට සර්වජන ඡන්ද බලය ලබා දෙන්න ඕනැයි කියලා දැඩිව පෙනී හටියේ ගුණසිංහ මහත්තයා.  1931 ට කලින් ඡන්දෙ දෙන්න අයිතිය තිබුණේ ධනවත් අයටයි, උගත් අයටයි විතරයි. ඒ නිසා දුප්පත්, පොහොසත් භේදයක් නැතිව කාටත් සර්වජන ඡන්ද අයිතිය දෙන්න ඕනෑ කියලා එතුමා සටන් කළා. නමුත් දුප්පත් මිනිස්සුන්ව සල්ලිවලට බොරු කියලා රවටලා ඡන්දෙ ගනීවි කියලා අනෙක් නායකයෝ මේ සර්වජන ඡන්ද බලයට විරුද්ධ වුණා. නමුත් 1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණා. ඊට පස්සේ මොකද වුණේ. ඊට පස්සෙ ඒ සර්වජන ඡන්ද බලය දෙන්න ඕනෑ කීව ගුණසිංහ මහත්තයාවත් සර්වජන ඡන්ද බලෙන් ගෙදර යැව්වා.

ඊට පස්සේ මට මතක් වෙන්නේ සී.ඩබ්ලිව්.බ්ලිව්. කන්නන්ගර මහත්තයාව. මේ රටේ සියලුම ජනතාවට නිදහස් අධ්‍යාපනය දෙන්න ඕනැයි කියලා, නිදහස් අධ්‍යාපන පනත එතුමා පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒත් මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය දෙනවට විරුද්ධව එදා අනගාරික ධර්මපාලතුමාට එරෙහි වුණ අයම බොහොම තදින් නැගී සිටියා. ඒ අය නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධව ඡන්දෙත් දුන්නා. නමුත් කන්නන්ගර ඇමැතිතුමා ගෙනා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උතුරෙත්, දකුණෙත් ප්‍රගතිශීලී මන්ත්‍රීවරු නිසා පුළුවන් වුණා. ඒක මේ රටේ ඓතිහාසික ජනතා ජයග්‍රහණයක්. නමුත් ඊළඟ ඡන්දයේදී සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තයාව ඡන්දෙන් පරාද කරලා ගෙදර යැව්වා.

මේ ඉතිහාසයෙන් මේ තරුණයෝ පාඩම්  ඉගෙන ගන්න ඕනෑ. යුද්ධ කරලා අපි නිදහස ලබා දුන්න ජනතාවම අපිට එරෙහිව යෙදෙව්වා. අපි දශක ගණනාවකට පස්සේ උතුරට, නැගෙනහිරට දුන්න ඡන්ද නිදහස අපිට එරෙහිව යෙදෙව්වා. අපි මේ රටේ ගොඩ නංවපු පරිගණක දැනුම, ජංගම දුරකථන පහසුකම් අපිට එරෙහිව යෙදෙව්වා. කොටින්ම අපි අනාගතය වෙනුවෙන් හිතලා හදපු වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ග අපිට එරෙහිව යෙදෙව්වා. ජනවාරි 08 කුමන්ත්‍රණය කළේ හයිවේ එකේ එහෙට මෙහෙට යමින් කියලා දැන් ඒ අය කියනවා. ඊළඟට හයිවේ එක පෙන්නලා ආණ්ඩුව ගැන බොරු කීවා. අපි හදපු වරාය නිසා මේ රට ආසියාවේ නාවික කේන්ද්‍රයක් බවට පත් වෙනවා. එතකොට කාටද ඒක දැනෙන්නේ. කාටද රිදෙන්නේ. මේ රටේ දේශීය ජනතාව ශක්තිමත් කරලා රට ලොකුවට ගොඩනගන්න හදවු හැම කෙනාටම ඒ දේ කළා. අපේ රටේ දේශපාලනයේ තියෙන මේ ගැඹුරු අනාගතය භාර ගන්න ඉන්න ඔබ තේරුම් ගන්න ඕනෑ. මේවායින් කලකිරුණොත් අපිත් රටත් පරාදයි.

මතක තියාගන්න, රටේ තරුණයන්ව නංවලා කර්මාන්ත දියුණුවක් ඇති කරන්න හදනකොට ධර්මපාලතුමාට රට එපා කරවපු අය තාම ඉන්නවා. සර්වජන ඡන්ද බලය අරන් දීපු ඊ. ඒ. ගුණසිංහව ඒ ඡන්දෙන්ම පරද්දලා ගෙදර යවපු අය තාම ඉන්නවා.

දැන් ඒ ගෙදර යවපු අය කියනවා තරුණයෝ දේශපාලනය අතහරින්න ඕනෑ. ඡන්දෙ දෙන්න ඕනෑ නෑ කියලා. තරුණයන්ට සර්වජන ඡන්ද බලය එපා කරවා ගන්නයි මේ අයට ඕනෑ.

මේ බලවේගවල හැසිරීම ඉතිහාසය ඇසුරෙන් අපි තේරුම් ගන්න ඕනෑ. මේ බලවේගය හැමදාම මේ රටේ තරුණයන් නොමග යැව්වා.

ඒ නිසා තරුණ ඔබ ළඟ නෙවෙයි, දුරයි හිතන්න ඕනෑ.

ඒක ජාතක කතාවක තියෙනවා අපූරු උපදේශයක්. දඹදිව එක්තරා වංශවත් පවුලක පුතෙක් දිසාපාමොක් ළඟට ගියා ඉගෙන ගන්න. මේ තරුණයා ශිල්ප හදාරලා දෙමාපියෝ බලන්න ගෙදර එනකොට රජ්ජුරුවෝ මේ දෙමාපියන් එක්ක උරණ වෙලා මේ දෙමාපියන්ව මරන්න වධබෙර ගගහා අරගෙන යනවා. මේ ශිල්ප ඉගෙන ගත්ත තරුණ පුතා මේක දැකලා කලබල වෙලා දෙමාපියෝ බේරා ගන්න එතනට කඩා පනින්න හැදුවා.

දං ගෙඩියට යමින් සිටි මහලු සිටු යුවලට පුතා කලබල වෙලා කරන්න හදන මෝඩකම ගැන වැඩේ තේරුණා. සිටුතුමා හයියෙන් මෙහෙම කිව්වා.

‘‘පුත ළඟ නොබලන්න – දුර බලන්න’’

පුතාට තාත්තා කියපු දේ තේරුණා. එයා ඉවසීමෙන් ඉඳලා පසු කාලීනව සංවිධානය වෙලා ජනතාව දිනාගෙන රාජ්‍යය ලබා ගත්තා. ඒ නිසා මම මේ රටේ තරුණයන්ට කියනවා, තමන්ට ඇහෙන දේ ගැන, පෙන්නන දේ ගැන නැවත නැවතත් හිතන්න ඉතිහාසයෙන් ඉගෙන ගන්න.

පුත ! ළඟ නොබලන්න දුර බලන්න;'52.
(under the courtesy of lankacnews.com news web)

More News »