රජයේ රෝහල්වල ප්‍රතිකාර බිඳ වැටුණත් පෞද්ගලික රෝහල්වල සේවා සාමාන්‍ය පරිදි

2019-08-22 01:26:00       696
feature-top
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවන ලද වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (22) සංවාද ඇති වුණා. ප‍්‍රශ්නය මතු කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊට පිළිතුරු ලබාදුන්නා.

එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ  "මේක ගැසට් එකට යවලා තියෙන්නේ. ඔය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දන්නවා ගැසට් එකට යැව්වයි කියලා. ඒක හින්දා තමයි වර්ජනය කරන්නේ..මොකද..ඊට පස්සේ කියනවා අපේ වර්ජනය හින්දා තමයි හම්බවුණේ කියලා. ඕවා වෘත්තීය සමිතිවල පැරණි ක්‍රම" යනුවෙනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැදවන ලද වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රජයේ රෝහල් බොහෝමයක ප‍්‍රතිකාර සේවා මේ වනවිට බිද වැටී තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් සිදුව ඇති බලපෑම පිළිබදව නෙත් නිවුස් මහනුවර ශික්‍ෂණ රෝහලෙන්ද විමසීමක් කළා. මේ, එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේ බාහිර රෝගී අංශ, සායන සහ අද සැළසුම් කළ සැත්කම් ක්‍රියාත්මක නොවන බවයි. වකුගඩු සහ පිළිකා සායන, හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක වන බවත් සඳහන් කළා.

කරාපිටිය ශීක්‍ෂණ රෝහලේද වෛද්‍යවරුන් සියළු දෙනාම පාහේ වැඩවර්ජනයට එක්ව සිටිනවා. මේ නිසා එහිද ප‍්‍රතිකාර සේවා බිද වැටී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදි තහවුරු වුණේ.

උතුරේ රෝහල්වලද ප‍්‍රතිකාර සේවා මේ වනවිට බිද වැටී තිබෙන බවයි ක්‍ෂේත‍්‍ර චාරිකාවක යෙදී සිටින නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු පැවසුවේ.

බාල ඖෂධ, ඖෂධ හිඟය, වෛද්‍ය අධ්‍යාපනය සදහා අවම ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම සහ වෛද්‍ය  ස්ථාන මාරු සම්බන්ධයෙන් ඇති ගැටළු මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය කැඳවා තිබෙනවා.

හෙට උදෑසන 8.00 දක්වා වැඩවර්ජනය සිදු කෙරෙන බවයි ඔවුන් පැවසුවේ. කෙසේවෙතත් ළමා හා මාතෘ රෝහල්වල වැඩවර්ජනය සිදු නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාසිටියා.

මේ අතර වැඩවර්ජනය හේතුවෙන් රජයේ බොහෝ රෝහල්වල ප‍්‍රතිකාර සේවා බිද වැටී තිබුණද පෞද්ගලික රෝහල්වල සියළු සේවා අදත් සාමාන්‍ය පරිදි සිදුවන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී තහවුරු වුණේ. 

(under the courtesy of nethnews.lk news web)

More News »