කසල එකතු කිරීම යළිත් සාමාන්‍ය පරිදි

2019-08-22 01:06:00       701
feature-top
කොළඹ සිට අරුවක්කාලූ කසල අංගනයට කසල රැගෙන යන ලොරි රථවලට ආරක්‍ෂාව ලබාදෙන්නැයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ කසල රැගෙන යන ලොරි රථවලට පුත්තලම හා අවට ප‍්‍රදේශවලදී දිගින් දිගටම සිදුවන පහරදීම් සැලකිල්ලට ගනිමින්.

එවැනි පහරදීමක් නැවත සිදු නොවන පරිදි කසල රැගෙන යන ලොරි රථවලට ආරක්‍ෂාව ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී සහතික වී ඇතැයි ද වාර්තා වුණා.

කොළඹ සිට අරුවක්කාලූ කසල අංගනයට කසල රැගෙන යන ලොරි රථවලට ආරක්‍ෂාව ලබාදෙන්නැයි කොළඹ මහ නගර සභාව මීට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලීමක් කළා. එසේ තිබියදීත් ඊයේ (21) දිනයේද ලොරි රථ 4 කට පහරදීම් සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නගරාධිපති රෝසි සේනානායක ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත්තේද ඊයේ සිදුවූ මෙම පහරදීම්වලින් පසුවයි.

මේ අතර දින කිහිපයක් එකතු නොකිරීම නිසා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ගොඩ ගැසී තිබූ කසල මේ වනවිට ඉවත් කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවා. දෛනික කසල එකතු කිරීම් දැන් සාමාන්‍ය පරිදි සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

More News »