ගාල්ල බන්ධනාගාරයෙන් හොර බඩු හමුවේ - නිළධාරීන්ද සම්බන්ධ බවට සැක

2019-08-17 02:12:00       702
feature-top
ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 8 ක්, සිම් කාඞ්පත් 8 ක් සහ ගංජා ග‍්‍රෑම් 250 ක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරීන් ඊයේ රාතී‍්‍ර සිදුකල සෝදිසියකදීයි. ගාල්ල බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැදවියන් රදවා සිටිනා වාට්ටුවේ මෙම සෝදිසිය සිදුකර තිබෙනවා.

එහි රදවා සිටි රැදවියන් ගණන 10 ක්. එම බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ජංගම දුරකතන රැදවියන් අතට පත්ව ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ අතර වැලිකඩ බන්ධනාගාරය තුළට තහනම් භාණ්ඩ රැගෙන එන ජාවාරමක් හෙළි කර ගැනීමට එහි නිලධාරීන් සමත්වී තිබෙනවා.

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සුළු වැඩ සදහා යොමු කර ඇති සිරකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඊට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. එම විශ්ව විද්‍යාලයේ සුළු වැඩ සදහා යොදවා සිටි සිරකරුවන් දෙදෙනා නැවත බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ එක් සිරකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සොයාගෙන තිබෙනවා. ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ තවත් තහනම් භාණ්ඩ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සගවා ඇති බවටයි.

ඒ අනුව බොරැල්ල පොලීසියේ සහාය ඇතිව වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් එම විශ්ව විද්‍යාලයේ සුළු වැඩ සදහා යොමු කර ඇති සිරකරුවන් භාවිත කරන කාමරය පරීක්‍ෂා කර තිබෙනවා.

එහි තිබී ජංගම දුරකතන 6 ක්, ගංජා ග‍්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 2 ක් සහ රුපියල් 12,600 ක් සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැයසුවේ. එම සිරකරුවන් දෙදෙනා භාරව සිටි විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේද සේවය අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ නියාමක තනතුරේ පුරප්පාඩු 281 ක් පවතින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. සිරකරුවන්ගේ වැඩ අධීක්‍ෂණය සදහා විශ‍්‍රාමික නිලධාරීන්ද සේවයට යොදවා ගැනීමට සිදුව ඇත්තේ ඒ අනුවයි.
 


(under the courtesy of nethnews.lk news web)

More News »