මීලග නියක ජනාධිපති ගෝටාභයයි.. මහින්ද කිවුවේ ජනාධිපතිගේ නම මිස අපේක්‍ෂකගේ නම නොවේ..- ගෝටාභය ගැන අනාවැකියක්..

2019-08-13 08:45:00       682
feature-top
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

වසර හතරක් පුරා අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ජනාධිපති අපේක්ෂකයා වන්නේත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවට අපි කිව්වා. නමුත් එක්සත් ජාතික පක්ෂය වගේම ජවිපෙත් ඒකාබද්ධ පච මෝල කැට තියලා කිව්වා ගෝඨාභය මැතිතුමාට අපේක්ෂකයා වෙන්න බෑ කියලා. ඒකට හේතු හතරකුත් කිව්වා. එතුමාට ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගන්න ඇමෙරිකාව ඉඩ දෙන්නේ නෑ කිව්වා. ඇමෙරිකානු පුරවැසිකම අත්හරින එක ඇමෙරිකානු ආණ්ඩුවට කිසිසේත්ම නතර කරන්න බෑ කියලා අපි නීති පොත් පෙරලලා පෙන්වලා දුන්නා. අද ඒක ඇත්ත වෙලා. ඊට පස්සේ ඇමෙරිකාවේත් ලංකාවේත් නඩු පවතින නිසා ඡන්දය ඉල්ලන්න බෑ කිව්වා. බොරු නඩු දාලා ඡන්දය ඉල්ලන එක නවත්වන්න බෑ කියලා අපි නීති පොත් පෙරලලා කිව්වා. ඒකත් අද ඇත්ත වෙලා. අද ඉහල අධිකරණවලින් එතුමන්ට දාපු නඩු සියල්ලම පදනම් විරහිත හේතු මත බව පෙන්වමින් එම නඩුවල ඇති අඩුපාඩු පිළිගනිමින් එම නඩු නතර කිරීමට කටයුතු කර තියෙනවා.

ගෝඨාභය මැතිතුමා දැන් ලෙඩෙක්. ඒ නිසා ඡන්දය ඉල්ලන්න බෑ කිව්වා. බයි පාස් සැත්කමකින් පසු හිටියාටත් වඩා තරුණ වන බව අපි කිව්වා. දැක්කනෙ ඊයේ ජවසම්පන්න තරුණයෙකු වගේ වේදිකාවට නැග්ග හැටි. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ගෝඨාභය මැතිතුමන් එකම වයසේ. නමුත් දෙන්න එකට ඉද්දි තාත්තයි පුතයි වගේ. අවසාන වශයෙන්, රාජපක්ෂ පවුල අතරේ ගැටුම්. ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම්. බහුතරය ගෝඨාභයට විරුද්ධයි කිව්වා. එතකොට “නෑ අපි හැමෝගෙම ඒකමතිකත්වයෙන් ගෝඨාභය මැතිතුමා අපේ අපේක්ෂකයා වන බව අපි කිව්වා. තමුන්නාසේලා ඊයේ දැක්ක සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා පොදු ජන පෙරමුණේ සියලු දෙනාම එකතු වෙලා ඒ වගේම රාජපක්ෂ පවුලේ සියලු දෙනාම එකතු වෙලා ගෝඨාභය මැතිතුමාට ආශිර්වාද කලා. සහය දැක්වූවා. එතුමාගේ සුභ මොහොතේදී එතුමන් එක්ක හිට ගත්තා.

අවසානයේ දී එජාප – ජවිපෙ ඒකාබද්ධ පචමෝල බොරු වෙලා අපි කියූ දේ සැබෑ වෙලා තිබෙනවා. ඒ නිසා අපි අද ඊ ළඟ අනාවැකියත් කියන්නම්. ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රසිද්ධ කලේ ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකගේ නම නොවේ. මේ රටේ ඊ ළඟ ජනාධිපතිගේ නමයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මී ළඟ ජනාධිපති වීම කාටවත්ම නතර කරන්න බෑ.

මුළු රටම ජනාධිපතිවරණයට ලැහැස්ති වන විට ජනාධිපතිතුමා පලාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය ඉඩක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව ආරංචියි. ඡන්ද කල් දාන්න නීති ගෙනැල්ලා අපේ විරෝධය මැද පලාත් සභා මැතිවරණය කල් දාපු ආණ්ඩුවට හදිසියේ පලාත් සභා මැතිවරණය සිහිපත් වී තිබෙන්නේ ජනාධිපතිවරණ උණුසුම අවුල් කරන්න මිස වෙන දෙයකට නොවේ. අපේ බලවත් විරෝධය මැද 2017 පලාත් සභා මැතිවරණ සංශෝධණ පණත ගෙනල්ලා පලාත් සභ මැතිවරණය ජනතාවගෙන් උදුර ගත්තේ වත්මණ් ආණ්ඩුවයි. වසර දෙකක් තිස්සේ පලාත් සභා මැතිවරණය නොපවත්වා ඉදලා හදිසියේම පලාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සිහිපත් වෙලා තිබෙන්නේ මතුවී ඇති ජනාධිපතිවරණ උණුසුමට අයිස් බකට් ප්‍රහාරයක් එල්ල කරන්නයි. පලාත් සභා මැතිවරණ පනත අණුව පලාත් සභ මැතිවරණය පැවැත්වීමට අවම වශයෙන් සති හතක් අවශ්‍යයි. අද සිට සති හතක් ගත්තම අප සිටින්නේ ඔක්තෝම්බර් මාසයේයි. සැතැම්බර් 07 සිට ඕනෑම දවසක ජනපතිවරණය ප්‍රකාශයට පත්කල හැකියි. ඒනිසා පලාත් සභා මැතිවරණයක් අද දින ප්‍රකාශයට පත්කලත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කලින් එම මැතිවරණය පවත්වා අවසන් කරන්න බෑ. ඒ නිසා පලාත් සභා මැතිවරණය දැන් පැවැත්වීමෙන් සිදු වන්නේ ජනාධිපතිවරණය අවුල් වීම පමණයි.

උණ හැදුනාම කොත්තමල්ලි බිව්වාට උණසන්නිපාතයට කොත්තමල්ලි බීලා වැඩක් නෑ. අන්න ඒ වගේ අද පවතින දේශපාලන අස්ථාවර බවට උත්තරේ ජනාධිපතිවරණය මිස සිල්ලර පලාත් සභා මැතිවරණ නොවේ. ඒ නිසා මේ ආණ්ඩුව රට අවුල් කළා හොඳටෝම ඇති. දැන්වත් ජනතාවට තමන්ට අවශ්‍ය නායකයාට රට භාර දෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා අපි කියනවා.
(under the courtesy of lankacnews.com news web)

More News »