ත‍්‍රස්තවාදය මඩින නව නීති වෙත අවධානය

2019-07-24 01:00:00       673
feature-top
ත‍්‍රස්තවාදය මැඩපැවැත්විම සඳහා නව නීති සකස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී ඊයේ (23) සංවාද ඇති වී තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත්තේ සාමාන්‍ය පුද්ගලයින් ත‍්‍රස්තවාදයට එක්වීම සහ ත‍්‍රස්ත කණ්ඩායම් අලුතින් නිර්මාණයවීම වැළැක්වීම සඳහා සුදුසු නීති ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.

තාවකාලික සීමා කිරීමේ නියෝග, ත‍්‍රස්තවාදය දිරි ගැන්වීම තහනම් කිරීම සහ නම් කරන ලද විදේශීය ප‍්‍රදේශයන්හි සිටීම පාලනය කිරීම වැනි ක්‍ෂේත‍්‍ර කෙරෙහි එහිදී අවධානය යොමු කළ යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටත් බි‍්‍රතාන්‍ය ඇතුළු වෙනත් රටවල් මේ සම්බන්ධයෙන් පනවා ඇති නීති අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුකාරක සභාවක් පත් කිරීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ. මෙම කැබිනට් අනුකාරක සභාව පත් කර තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනගේ ප‍්‍රධානත්වයෙන්.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු තාවකාලිකව නවතා දැමුණු ඔන් අරයිවල් වීසා හෙවත් පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රමය යළි ආරම්භ කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. ඒ, සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංගගේ යෝජනාවක් අනුවයි.

අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයට අයත් රටවල්,  ඕස්ටේ‍්‍රලියාව, ජපානය, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, තායිලන්තය, කාම්බෝජය සහ ස්විට්සර්ලන්තය යන රටවල සිට පැමිණෙන්නන්ට මේ යටතේ වරප‍්‍රසාදය හිමිවනු ඇති. සංචාරකයන් ශී‍්‍ර ලංකාවට ආකර්ශනය කර ගැනීම මෙහි අපේක්‍ෂාව වී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »