අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීම ගැන සලකා බැලීමට දින දෙයි

2019-07-24 10:59:00       664
feature-top
2015 පෙබරවාරි මස 27 වැනිදා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තුවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම අගොස්තු මස 09 දා සිදු කිරීමට පළමු  ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (24) දින නියම කළා.

පළමු විත්තිකරු වන හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට මහාධිකරණය මගින් මුල් අවස්ථාවේ වරෙන්තුවක් නිකුත් කිරීමට අවශ්‍ය කරුණු තහවුරු කිරීම දිවුරුම් ප්‍රකාශයක් සිදු කරන ලෙසට මහාධිකරණය නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර නඩුවේ දසවැනි චූදිත ගාර්දිය පුංචිහේවා යන අය ද අධිකරණය මගහරිමින් සිටින බැවින් ඔහු සඳහා සිතාසි නිකුත් කිරීම අධිකරණ අමත්‍යංශය හරහා සිදු කළ යුතු බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර සලකා බැලීමට නඩුව සැප්තැම්බර් මස 17 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළා.

මේ අතර අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් කිහිප දෙනෙකුට අධිචෝදනා ඔවුන්ගේ මව් භාෂා වන ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් නිකුත් කිරීමට විනිසුරු සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.
 
හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ජෝශප් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු මීට පෙර දින ඇප මත මුදාහැරීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.
 
පත්තිනිගේ සමරසිරි, අර්ජුන් ජෝශප් ඇලෝසියස්, කසුන් පළිසේන, ජෙෆ්රි ජොෂෆ් ඇලෝසියස් , මිත්‍ර ගුණවර්ධන , රන්ජන් හුලුගල්ල සහ මුතුරාජ සුරේන්ද්‍රන් යන අය අද අධිකරණයේ පෙනී සිටියා.  පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නඩුවේ තුන්වන චූදිත ලෙසට නම් කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පාර්ශ්වයන්  10 කට එරෙහිව චෝදනා 23ක් යටතේ  පළමු  ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ  නඩු පවරා තිබුණා.

ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝශප් ඇලෝසියස් , කසුන් පළිසේන, ජෙෆ්රි ජොෂෆ් ඇලෝසියස් , මිත්‍ර ගුණවර්ධන, රන්ජන් හුලුගල්ල, මුතුරාජ සුරේන්ද්‍රන් සහ ගාර්දිය පුංචිහේවා යන අයට එරෙහිව පොදු දේපළ පනත යටතේ 5(1) වගන්තිය යටතේ රුපියල් බිලියන 10058 වටිනා භාණ්ඩාගාර බැදුම්කර වංචනික ලෙසට පරිහරණය කිරීම සහ කුමන්ත්‍රණය කිරීම හා ඒ මගින් රජයට රුපියල් මිලියන 688,762,100 ක මුදලක් පාඩු කිරීමේ චෝදනා මත නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමු කර ඇත්තේ නඩුවේ ස්වභාවය, අවස්ථානුකූල කරුණු සහ බැරෑරුම්කම සලකා බැලීමේන් අනතුරුවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »