මාලිංග එක්දින පිටියෙන් සමු ගැනීම ප්‍රකාශ කරයි

2019-07-23 08:58:00       672
feature-top
එක්දින ක්‍රිකට් පිටියෙන් තමා සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ලබන 26 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි එක්දින තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තමා සූදානම් වී ඇති බවයි.

ඒ අනුව පළමු එක්දින තරගය ලබන 26 වැනිදාත්, දෙවන එක්දින තරගය 28 වැනිදාත් පැවැත්වෙනවා. අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ 31 වැනිදායි.  

ලසිත් මාලිංගගේ සමුගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද අදහස් පළ කළා. ඔහු කියාසිටියේ බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරයෙන් පසු මාලිංග එක්දින පිටියට සමුදෙන බව තමන්ටද දැනුම් දුන් බවයි. ඔහුගේ සමු ගැනීමෙන් පසු එම අඩුව පිරවීම සම්බන්ධයෙන් කැපවී කටයුතු කළයුතු බවද දිමුත් කරුණාරත්න සඳහන් කළා.

2004 වසරේ ජූලි මස 17 වැනිදා එක්දින වරම් දිනා ගන්නා ලසිත් මාලිංග මේ දක්වා තරග 225 කදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. එහිදී කඩුළු 335 ක් දවා ගැනීමට ඔහු සමත් වී ඇති අතර කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා 8 ද ඊට ඇතුළත්. දකුණු අපි‍්‍රකාවට එරෙහිව පන්දු 4 කදි කඩුළු 4 ක් බිද හෙළමින් එබැවින් දස්කමක් දැක්වූ ලොව එකම කී‍්‍රඩකයා බවටද මාලිංග පත්ව තිබෙනවා. ඔහු කි‍්‍රකට් පිටියේදී හදුන්වන්නේ යෝකර් පන්දු යැවීමේ රජු ලෙසයි.

එක්දින කි‍්‍රකට් පිටියේ එක් අර්ධ ශතකයකටද මාලිංග හිමිකම් කියනවා. 2010 වසරේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඔහු රැස් කළ එම අර්ධ ශතකය හේතුවෙන් මේ දක්වා බිද හෙළීමට නොහැකි වූ ලෝක වාර්තාවක් ද බිහි වී තිබීම විශේෂත්වයක්. එය ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව ගොඩ නැගූ එක්දින කි‍්‍රකට් පිටියේ 9 වන කඩුල්ල වෙනුවෙන් වූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.

ලසිත් මාලිංග මීට පෙර ටෙස්ට් කි‍්‍රකට් පිටියට සමු දුන් අතර තවදුරටත් විස්සයි විස්ස කි‍්‍රකට් පිටියේ රැදී සිටීම ඔහුගේ අපේක්‍ෂාවයි. මේ අතර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසු ලසිත් මාලිංග  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යාමට සූදානමක් ඇති බවටද වාර්තා පළ වනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »