වසර 16 කට පසු හිමි කර ගත් ලෝක කුසලානයක්

2019-07-22 02:32:00       731
feature-top
වසර 16කට පසු දැල්පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් විය.

ඒ මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කරමින්.

එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමා වනවිට කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් රැස් කරගෙන සිටියේය.

දෙවන කාර්තුවේදී නවසීලන්තය ලකුණු 18ක් රැස් කරගත් අතර ඕස්ට්‍රේලියාව රැස් කර ගත්තේ ලකුණු 15ක් පමණයි.

ඒ අනුව දෙවන කාර්තුව නිමා වනවිට නවසීලන්තය ලකුණු 28ට 25ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තේය.

තරගයේ තුන්වන කාරතුවේදීත් ඉතා හොඳින් තරග වැදුනු නවසීලන්ත ක්‍රීඩිකාවන් ප්‍රබල ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කල අතර එම කාර්තුව නිමවන විට නවසීලන්තය පෙරමුණ ගත්තේ ලකුණු 41ට 37ක් ලෙසයි.

තීරණාත්මක් සිව්වන සහ අවසන් කාර්තුව ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

එම කාර්තුවේදී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර කෙසේ හෝ අවසානයේ ලකුණු 52ට 51ක් ලෙස අවසන් මහා තරගය ජයගනිමින් මෙවර දැල්පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.

නවසීලන්තය දැල්පන්දු ලෝක කුසලානයක් හිමිකරගත් සිව්වන අවස්ථාව මෙයයි.

මේ අතර මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කරගත් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකාවේ තර්ජනී සිවලිංගම් වාර්තා අතරට එක්විය.

ඇය මෙවර තරගාවලියේදී රැස් කරගත් ගෝල සංඛ්‍යව 348ක්.


(under the courtesy of adaderana.lk news web)

More News »