ජනාධිපතිට කිසිදු ස්ථාවරයක් නෑ.. දිනපතා එක එක කතා කියනවා.. ඔහු ජනාධිපතිවරණයට මුහුණ දිය යුතුයි..

2019-06-26 06:23:00       526
feature-top
මේ කාලය ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සුදුසු කාලයක් නොවන බවත් ජනාධිපතිතුමාට ජනවරම ලැබුණෙ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බවත් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (25) කොළඹ දී ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල තිබෙන ජනාධිපති ධූරයේ වාර දෙකේ සීමාව, 18 වන සංශෝධනයෙන් ඉවත් කල බව සදහන් කල ඒ මහතා ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරය දැරිය හැක්කේ ඒකාධිපති රටවල පමණක් බවද අවධාරණය කළේය.

බත්තරමුල්ල ඉදිකිරීම් මැදුරේදී පැවැති උසස් ඉදිකිරීම් තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනය මඟින් පවත්වන ලද ඉදි කිරීම් තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලාව හැදෑරෑවන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය.

අපට පේනවා ජනාධිපතිතුමාගේ ස්ථාවරය දවසින් දවස, මාසෙන් මාසේ වෙනස් වෙනවා. හැබැයි එතුමාට ජනවරම ලැබුණෙ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ වාර දෙකේ සීමාව ඉවත් කළා. ලෝකයෙ එහෙම සම්ප්‍රදායක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල වාර දෙකයි ජනාධිපති තනතුර දරන්න පුළුවන්. ඇමරිකාවෙත් එහෙමයි. ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල එහෙමයි. ඒකාධිපති රටවල ඒක නැහැ.

ජේ ආර් ජනාධිපතිතුමාවත් එහෙම එකක් ගෙනාවේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒක අහෝසි කරලා දැම්මා. ඉතින් අපි ඇවිල්ලා 18 වන සංශෝධනය අහෝසි කරලා දැම්මා. ඒක ආපහු ගේන්න කවුරුහරි කල්පනා කරනවා නම් ඒක ඒකාධිපතිවාදයට අතවැනීමක්. ඊළගට 19 වන සංශෝධනය මගින් කළේ ඒ ජනාධිපති ධූරය සතු ඒකාධිපති බලතල අයින් කරලා ජනාධිපති ධූරය ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ධූරයක් බවට පත් කරපු එක. ඒවගේම තමයි වැදගත් කොමිෂන් සභා පිහිටෙව්වා. අධිකරණ කොමිෂන් සභාව, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ආදී වශයෙන්. ඇත්තෙන්ම ලංකාවෙ පළමු වතාවට දූෂණයෙන් තොර මැතිවරණ තියන්නට ඉඩ ලැබුණා. නමුත් 19 වන සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒවා පාර්ලිමේන්තුවේදී කට්ටිය එකතුවෙලා හදාගන්න පුළුවන් දේවල්.

19 වන සංශෝධනය ගෙනාව ප්‍රතිපාදන මුළුමනින්ම අහෝසි කරලා දාන එක ඥානාන්විත ක්‍රියාවක් නෙවෙයි. ඒක ජනාධිපතිතුමා ලබපු ජනවරම ප්‍රතික්ෂේප කිරීමක් කියලයි, මට හිතෙන්නේ. කොහොම වුනත් මේ කාලෙ අලුතින් ව්‍යවස්ථා සංශෝධන හෝ ව්‍යවස්ථා ගේන්න කාලයක් නොවෙයි. දැන් තියෙන්නෙ ජනාධිපතිවරණයට මුහුණ දෙන්නයි. ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අයට මීට වැඩියෙ වෙනස් ව්‍යවස්ථා ඕන නම් ජන වරමක් ඉල්ලලා ඒවා හදා ගැනීමේ අවස්ථාවක් තියනවා. ජනාධිපතිතුමා කල්පනා කරනවා නම් හදපු ව්‍යවස්ථා වැඩක් නෑ කියලා අලුත් මතයක් රටට ඉදිරිපත් කරන්න බාධාවක් නැහැ. අපි විශ්වාස කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් විදියට මේ රට යන්න ඕන ජනරජ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න.

ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කරන්න ඕන. අද දේශපාලන ස්ථාවරත්වයෙ ප්‍රශ්නයක් තියනවා. ඉතින් ඒක තමා ජනාධිපතිතුමා සමහරවිට මතු කරනවා ඇත්තේ. අපි ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අහෝසි කරලා ජනරජ ප්‍රජාතන්ත්‍රවාදයක් සාක්ෂාත් කරන්න බැහැ. ජනාධිපතිතුමා, රාජ්‍ය නායකයා. විධායකයේ ප්‍රධානියා. ජනාධිපතිතුමාව තේරීම් කාරක සභාවට ගෙන්නල ව්‍යවස්ථාදායකය විසින් ප්‍රශ්න කරන්න පුළුවන්ද කියන එක ගැන මම දන්නෙ නැහැ. ඒකෙ නීතිමය තත්ත්වය ගැන දන්නෙ නැහැ. ජනාධිපතිතුමා ආවත් නැතත් මේ වන විට වැදගත් තොරතුරු එළිදරව්වෙලා තියනවා. අපි බලමු අන්තිම වාර්තාව කොහොමද එන්නෙ කියලා. ජනාධිපතිතුමා මේකට ආවත් නැතත් අගමැතිතුමා මේකට ආවත් නැතත් මේ වාර්තාව ඉතාමත් ඵලදායී නිගමනයන් නිර්දේශයන් ඉදිරිපත් කරයි කියලා හිතනවා.

කාදිනල් තුමා බරපතල ප්‍රකාශයක් කරනවා මම දැක්කා රටේ පාලකයින් ත්‍රස්තවාදයට එරෙහිව නිවැරැදි තීරණයක් අරගෙන නැහැ කියල. මන්ත්‍රීවරුන් 225 ම වැඩක් නැහැ කියලත් සමාජ මාධ්‍ය වල තිබෙනවා. ඒක ජනතාවට අයිති දෙයක්. මේ ඉන්න කට්ටිය හොද නැතිනම් තව කට්ටියක් පත්කර ගන්න අවශ්‍යයි. ඔය මතය මෙන්න මෙහෙමත් එනවා. පාර්ලිමේන්තුව වැඩක් නැහැ. දේශපාලකයො වැඩක් නැහැ. ඒක නිකම් අරාජකවාදයක්. ඒකෙන් රට තියන තැනට වඩා පහළ මට්ටමට වැටෙනවා. ඉන්න දේශපාලනඥයො හොද නැතිනම් අලුත අය පත්කර ගන්න එක ජනතාව අතේ තියෙන්නේ. දේශපාලනඥයන්ට කාර්යභාරයක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ තියන විශේෂ ලක්ෂණය තමයි වැරදි හදාගෙන ඉදිරියට යන්න ඉඩ දීම. ජනතාව පත් කරලා දේශපාලනඥයන්  වැරදි කරලා තියෙනවා නම් ජනතාවට අවස්ථාවක් ලැබෙනවා හොද දේශපාලනඥයන් පත් කර ගන්න. ඒ ගොල්ලො වැරදි නම් තව කට්ටියක් පත් කරගන්න අවස්ථාව ලැබෙනවා.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී පියසේන ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
(under the courtesy of lankacnews.com news web)

More News »